එයිට්කින් ස්පෙන්ස්

විකිපීඩියා වෙතින්
එයිට්කින් ස්පෙන්ස්
වර්ගයපොදු කොටස් සමාගමක්
ස්ථාපිතය1868
ප්‍රාරම්භකපැට්‍රික් ගෝඩන් ස්පෙන්ස්
තෝමස් ක්ලාක්
එඩ්වඩ් එයිට්කින්
එස්. ආර්. එයිට්කින්
මූලස්ථානයකොළඹ, ශ්‍රී ලංකාව
සේවා සරියශ්‍රී ලංකාව, මාලදිවයින, බංගලාදේශය,
ඉංදියාව, දකුණු අප්‍රිකාව, ඕමානය, ෆීජි
ප්‍රධාන පුද්ගලයන්හැරි ජයවර්ධන
(සභාපති),
රාජන් බ්‍රිටෝ
(උපසභාපති සහ
කළමනාකරන අධ්‍යක්‍ෂ)
රොහාන් ප්‍රනාන්දු (අධ්‍යක්‍ෂ)
පරාක්‍රම දිසානායක(අධ්‍යක්‍ෂ)
කර්මාන්තයසංචාරක
ප්‍රවාහන
බලශක්ති
තොරතුරු තාක්‍ෂණ
මූල්‍ය සේවා
ව්‍යාපාරික ක්‍රියාවලි බැහැර ගත සේවා (BPO)
විශේෂඥ ක්‍රියාවලි බැහැර ගත සේවා (KPO)
මුද්‍රණ
ඇගලුම්
වැවිලි සේවා
ඉඩකඩම් ප්‍රවර්ධන සේවා
ආදායමරු. බිලියන 36.5 (2013/14)
මෙහෙයුම් ආදායමIncreaseරු. බිලියන 5.7 (2013/14)
ශුද්ධ ආදායමIncreaseරු. බිලියන 4.5 (2013/14)
මුළු වත්කම්Increaseරු. බිලියන 61 (2013/14)
මුළු සමකොටසIncreaseරු. බිලියන 38.7 (2013/14)
සේවකයන්13,000 (2012)
වෙබ්අඩවියනිල වෙබ් අඩවිය
විකුණනු ලබන්නේසැකිල්ල:Cse

එයිට්කින් ස්පෙන්ස් සමූහය, ඉංග්‍රීසි: Aitken Spence (ස්කොට්ලන්ත නාම ශබ්දකරනය අනුව:/ɪtkinˈspɛns/), දෙමළ: எய்ட்கின் ஸ்பென்ஸ் යනු හෝටල් සහ සංචාරක සේවා, නාවික සහ ප්‍රවාහන සේවා, මූල්‍ය, තොරතුරු තාක්‍ෂණ, මුද්‍රණ, බලශක්ති, වැවිලි සහ ඇගලුම් වැනි ක්‍ෂේත්‍ර රැසකට විවිධාංගීකරනය වූ ශ්‍රී ලාංකික සමාගමකි.

1830 දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙම සමාගම, 1983 වර්ෂයේදී කොළඹ කොටස් වෙලඳපොලෙහි පොදු කොටස් සමාගමක් ලෙස හඳුන්වා දෙන ලදී.

මේ වන විට මෙම සමාගම, ශ්‍රී ලාංකාව, මාලදිවයින, බංගලාදේශය, ඉංදියාව, ඕමානය, දකුණු අප්‍රිකාව, සහ ෆීජි යන දේශයන්හි ව්‍යාපාර කටයුතු වල නිරත වන අතර, සේවකයින් 13,000කින් සමංවිත ආයතනයකි.

ෆෝබ්ස් සඟරාව මඟින් ඩොලර් බිලියනට අඩු ඇමරිකාවෙන් පිටත ඇති සාර්ථකම පොදු සමාගමක් ලෙස තෙවරක් නම් කර ඇති එයිට්කින් ස්පෙන්ස් සමූහය, 2012 වර්ෂයේදී ලංකා වාණිජ මණ්ඩලය විසින් පවත්වන හොඳම ව්‍යාපාරික පුරවැසි සම්මානවලියේ විශිෂ්ඨතම සමාගම ලෙසද පිලිගන්නා ලදි.

ආර්ථික, සමාජීය සහ පාරිසරික යන සංවර්ධනයෙහි පැතිකඩයන් සැලකිල්ලට ගනිමින් තිරසර ලොවක් ගොඩනැගීමට එක්ව සිටින එක්සත් ජාතීන්ගේ ගෝලීය ව්‍යාපාර එකමුතුවෙහි (United Nations Global Compact) කොටස්කරුවන් ලෙස බැදුනු ප්‍රථම ශ්‍රී ලාංකීය ව්‍යාපාරය වන්නේද එයිට්කින් ස්පෙන්ස් සමූහයයි.

ඉතිහාසය[සංස්කරණය]

එයිට්කින් ස්පෙන්ස් සමූහයේ ඉතිහාසය 1830 වසරේදී බ්‍රිතාන්‍ය කිරීට සමයේ මුල් අවදියෙහි බිහිවූ "විල්සන් සහ ආචර් හවුල් ව්‍යාපරය" තෙක් දිව ගියද, මෙම සමූහයේ වර්තමාන ස්වරූපයට මූල පූර්ණය තැබුනේ 1868 සැප්තැම්බර් 01 වන දිනය. ඒ ගාල්ලේදී, තෝමස් ක්ලාක් සහ පැට්‍රික් ගෝඩන් ස්පෙන්ස් යන ස්කොට්ලන්ත ජාතික වෙලෙන්දන් සහ ප්‍රවාහන තැරව්කරුවන් "ක්ලාක්, ස්පෙන්ස් සහ සමාගම" ලෙස හවුල් ව්‍යාපරයක් සේ මෙම ව්‍යාපාරය ගෙනයෑමට එකඟ වීමත් සමඟය.

පැට්‍රික් ගෝඩන් ස්පෙන්ස්

ක්ලාක්, ස්පෙන්ස් සහ සමාගම මෙම සමයේදී මිනිරන්, මැණික්, හම්පටි, වර්ණක සඳහා පතංගි ශාඛ කොටස්, කළුවර ලී, කෝපි, පොල් තෙල්, කොහු ආශ්‍රිත භාණ්ඩ, අරක්කු සහ පැඟිරි තෙල් වැනි දෑ එක්සත් රාජධානිය, මහද්වීපගත යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව වෙත අපනයනයටත්, බුරුමයෙන් ශ්‍රී ලංකාවට හාල් සහ එවක භාවිතා වූ වාෂ්ප බලයෙන් දිවෙන නැව් සඳහා ගල් අඟුරු ආනයනයටත් ප්‍රසිද්ධ නමක් උසුලන ලදී.

එඩ්වඩ් එයිට්කින්

පැට්‍රික් ගෝඩන් ස්පෙන්ස්ගේ ප්‍රයත්නයන් මත, 1871 අප්‍රේල් 05 වන දින ලන්ඩන් ලොයිඩ්ස් රක්‍ෂණ වෙළඳපොලෙහි ලංකාවේ නියෝජිත සමාගම ලෙස ක්ලාක්, ස්පෙන්ස් සහ සමාගම පත්කරන ලදී. කොළඹ වරායෙහි ලොයිඩ්ස් රක්‍ෂණ සේවා පවත්වාගෙන යෑමට, "බ්‍රයිටන්, එයිට්කින් සහ සමාගම" සමඟ කොළඹ කාර්යාලයක් පිහිටුවීමට ක්ලාක්, ස්පෙන්ස් සහ සමාගම එකඟතාවයකට එන ලදී. 1873 ජනවාරි 01වන දින ඉ.සි. බ්‍රයිටන් "බ්‍රයිටන්, එයිට්කින් සහ සමාගම" හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වූ අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස පැට්‍රික් ගෝඩන් ස්පෙන්ස්, එඩ්වඩ් එයිට්කින් සහ එස්. ආර්. එයිට්කින්, මෙම ව්‍යාපරය ගෙනයෑමට "එයිට්කින්, ස්පෙන්ස් සහ සමාගම" ලෙස හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට තීරණය කරන ලදී. ක්ලාක් ස්පෙන්ස් සහ සමාගමෙහි අනුශාංගික සමාගමක් ලෙස තව දුරටත් එයිට්කින් ස්පෙන්ස් සහ සමාගම කටයුතු කරන ලදී.

1876 දී ලොයිඩ්ස් රක්‍ෂණ සේවා නියෝජන එ්ජන්සිය ක්ලාක්, ස්පෙන්ස් සහ සමාගම විසින් එයිට්කින් ස්පෙන්ස් සහ සමාගම ට පවරා දෙන ලදී. මෝගන් කෲසිබල් සමාගම යන ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය කෝව නිෂ්පාදන සමාගමෙහි ලංකා මිනිරන් ආනයන සහකරු ලෙස කටයුතු කල ක්ලාක්, ස්පෙන්ස් සහ සමාගම, මෙම මිනිරන් අපනයන ව්‍යාපාරයද එයිට්කින් ස්පෙන්ස් සහ සමාගම වෙත පවරා දෙන ලදී. කොළඹ වරාය ස්ථාපිතවී ලංකාවේ ව්‍යාපාරික අග නගරය ලෙස කොළඹ පත් වත්ම, ගාල්ලේ පිහිටි ක්ලාක්, ස්පෙන්ස් සහ සමාගමෙහි ව්‍යාපාර කෙමෙන් කොළඹ පිහිටි එයිට්කින් ස්පෙන්ස් සහ සමාගම වෙත යොමු විය. පසු කාලීනව ක්ලාක්, ස්පෙන්ස් සහ සමාගම, එයිට්කින් ස්පෙන්ස් සහ සමාගමෙහි අනු ආයතනයක් බවට පත් වූ අතර අදටත් එය එයිට්කින් ස්පෙන්ස් සමූහයෙහි පැරණිම අනු ආයතනය ලෙස පවතියි.

1880 දශකයදී එයිට්කින් ස්පෙන්ස් සමාගම රෝයල් රොටර්ඩම් ලොයිඩ් සහ නෙදර්ලන්ඩ් ලයින් යන ලන්දේසි නාවික සමාගම්හි ලංකා නියෝජිත සමාගම ලෙස පත්කරන ලදි. ඉන් අනතුරුව, 1900 දශකය ලබත්ම එයිට්කින් ස්පෙන්ස් සමාගම වැවිලි ක්‍ෂේත්‍රයට පිවිසෙන ලදී. 1918 වර්ෂයේදී කොළඹ කොටුවේ පිහිටි ෆ්‍රොයිඩන්බර්ග් ගොඩනැගිල්ල මිලදී ගත් එයිට්කින් ස්පෙන්ස් සමාගම එය ලොයිඩ්ස් ගොඩනැගිල්ල ලෙස නම් කරමින් තම මූලස්ථානය ලෙස පත්කරන ලදී.

1930 දශකය ලංවත්ම පැන නැගුණු ලෝක ආර්ථික අවපාතයත් සමඟ එයිට්කින් ස්පෙන්ස් සමාගම තම වෙළඳ කටයුතු වලින් ඉවත් වී සේවා සහ වැවිලි සමාගමක් ලෙස ඉදිරියට යෑමට උපායක්‍රමික සැලසුම් ක්‍රියත්මක කරන ලදී. වරාය ක්‍රියාවලි පිළිබඳ ඇති පරිණතභාවය හේතුවෙන් දෙවන ලෝක යුද්ධ සමයේ කොළඹ වරායේ මෙහෙයුම් පරිපාලනය කිරීමේ වගකීම බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රය විසින් එයිට්කින් ස්පෙනස් සමාගමට පවරන ලදී.

1952 වසරෙදී එයිට්කින් ස්පෙනස් සමාගම පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරන ලදී. 1968 වසරේදී, මෙම සමාගමෙහි ප්‍රථම ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති සභාපති ලෙස ඉ. එල්. වැන් ලැන්ගන්බර්ග් මහතා සිය දූරය භාරගත්තේය. 1971 වර්ෂයේදී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයයෙන් ඉවත්ව ජන රජයක් ලෙස කටයුතු කිරීමට සැලසුම් සම්පාදනය කරත්ම, එයිට්කින් ස්පෙන්ස් සමාගමෙහි සම්පූර්ණ අයිතිය ලාංකිකයන් අතට පත්වන ලදී. 1983 වර්ෂයේදී එයිට්කින් ස්පෙන්ස් සමාගම රු. මිලියන 51ක ප්‍රාග්ධනයක් රැස්කරමින් තම කොටස් කොළඹ කොටස් වෙළඳපොලෙහි මහජනයා වෙත නිකුත් කරන ලදී.

1960 සහ 70 දශකයෙහි, රක්‍ෂණ සහ වැවිලි සමාගම් ජනසතු කිරීමට එවක රජය පියවර ගැනීමත් සමඟ, මෙම ක්‍ෂේත්‍රයන්හි ඉහල පෙලේ සමාගමක් ලෙස ස්ථාපිතව සිටි එයිට්කින් ස්පෙන්ස් සමාගමට තම ව්‍යාපාරයන් අහිමි විය. කෙසේ වුවත් නාවික රක්‍ෂණ ක්‍ෂේත්‍රයට අයත් ලොයිඩ්ස් එ්ජන්සිය දිගටම පවත්වාගෙන යෑමට එයිට්කින් ස්පෙන්ස් සමාගමට ඉඩ කඩ ලැබුනි.

මෙම ව්‍යාපාර රජය සන්තකයට ගැනීමෙන් සමාගම පසුබෑමකට පත් වූවත්, එවක රජයෙහි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අභිලාශය හඳුනාගත් එයිට්කින් ස්පෙන්ස් සමාගම, 1972 වර්ෂයේදී තම ප්‍රථම සංචාරක ආයෝජනය ලෙස බේරුවල හෝටලයක් ගෙඩනැගීමට මුල පුරන ලදී (1974 වර්ෂයේදී එය නෙප්චූන් හෝටලය නමින් විවෘත කරන ලදී). 1974 වර්ෂයේදී සිංගප්පෝ එයාලයින්ස් (Singapore Airlines) සමාගමෙහි ලංකාවේ නියෝජිත සමාගම ලෙස එයිට්කින් ස්පෙන්ස් සමාගම ගුවන් සේවා ක්‍ෂේත්‍රයට පිවිසෙන ලදී. හෝටල් ව්‍යාපාරය ඇරඹීමත් සමඟම ආරම්භ කල සංචාරක සේවා එ්ජන්සිය ශක්තිමත් කරමින් එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් ලෙස වෙනම ව්‍යාපාර අයතනයක් 1977 පිහිටුවන ලදී.

1977 වර්ෂයේදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දී අපනයන ප්‍රවර්ධනයට එවක රජය ප්‍රමුඛතාවයක් දැක්වීමත් සමඟ එයිට්කින් ස්පෙනස් සමාගම නව ව්‍යාපාර ක්‍ෂේත්‍රයන්ට අවතීර්ණ වියඃ 1979 දී භාණ්ඩ බැහෑලුම් (කන්ටේනර්) සහ ආශ්‍රිත ප්‍රවාහන සේවා, 1979 දී ඇගලුම් සහ නිමි ඇදුම් නිෂ්පාදනය, 1981දී TNT ආයතනයත් සමඟ අධිවේගී තැපැල් සහ පාර්සල් ප්‍රවාහන සේවා, 1989 දී OTIS ආයතනයත් සමඟ සෝපාන ආශ්‍රිත සේවා මින් කිහිපයක්ය. 1980 දශකයේදී රක්‍ෂණ සේවා ක්‍ෂේත්‍රයෙහි පාලන රීති හා සීමා ලිහිල් කොට පෞද්ගලික අංශයට තරඟ කිරීමට අවකාශය විවර වෙද්දී, එයිට්කින් ස්පෙන්ස් සමාගම, ජාතික රක්‍ෂණ සංස්ථාව (වර්තමානයේ ජනශංක්ති රක්‍ෂණ සමාගම ලෙස පැවැත්වෙන) සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම පිහිටුවීමට දායක වෙමින් ලාංකීය රක්‍ෂණ ක්‍ෂේත්‍රය නගා සිටුවීමට විශේෂ මෙහෙවරක් ඉටු කරන ලදී. පසුකාලයක මෙම රක්‍ෂණ සමාගම්වල කොටස් එයිට්කින් ස්පෙන්ස් සමූහය විසින් බැහැර කරන්නට යෙදින. වැවිලි කර්මාන්තය 1992 වර්ෂයේදී පෞද්ගලිකකරනය කරත්ම, උඩපුස්සැල්ලාව වැවිලි සමාගම මිලදී ගනිමින්, එයිට්කින් ස්පෙන්ස් සමූහය යළි වැවිලි ක්‍ෂේත්‍රයට පිවිසෙන ලදී.

1996 වර්ෂයේ සිට උත්සන්න වූ ශ්‍රී ලාංකික බලශක්ති අර්බුදය හමුවේ, එයිට්කින් ස්පෙන්ස් සමූහය ඊට විසදුම් වශයෙන් බලශක්ති ක්‍ෂේත්‍රයේ ආයෝජනයන්ට පෙළඹුවුන අතර පළමු බලාගාර ද්විත්වය මාතර සහ හොරණ කාර්මික කලාපයන්හි 2002 වර්ෂය වෙද්දී ස්ථාපනය කරන ලදී.

කොළඹ හයිඩ් පාක් අසල පිහිටි එයිට්කින් ස්පෙන්ස් සමූහ මූලස්ථාන ගොඩනැගිලි පරිශ්‍රය

හෝටල් සහ නිකේතන[සංස්කරණය]

ශ්‍රී ලංකාව[සංස්කරණය]

හෙරිටන්ස් හෝටල් සහ නිකේතන ජාලය[සංස්කරණය]

  • හෙරිටන්ස් ආයුර්වේද මහ ගෙදර,බේරුවල (නෙප්චූන් හෝටලය ලෙස පෙර හැදින්වූ)
  • හෙරිටන්ස් අහුන්ගල්ල, අහුන්ගල්ල (ට්‍රයිටන් හෝටලය ලෙස පෙර හැදින්වූ)
  • හෙරිටන්ස් කන්ඩලම,දඹුල්ල (කන්ඩලම හෝටලය ලෙස පෙර හැදින්වූ)
  • හෙරිටන්ස් ටී ෆැක්ටරි, කඳපොල, නුවරඑළිය (ටී ෆැක්ටරි හෝටලය ලෙස පෙර හැදින්වූ)
  • හෙරිටන්ස් නිගම්බු, මීගමුව (බ්‍රවුන්ස් බීච් හෝටලය ලෙස පෙර හැදින්වූ)
හෙරිටන්ස් කන්ඩලම, දඹුල්ල

එයිට්කින් ස්පෙන්ස් හෝටල් සහ නිකේතන ජාලය[සංස්කරණය]

  • ද සෑන්ඩ්ස් බයි එයිට්කින් ස්පෙන්ස් හොටේල්ස් හෝටලය, කළුතර
  • හිල් ටොප් හෝටලය, මහ නුවර
  • අර්ල්ස් රීජන්සි, මහ නුවර (කළමනාකරනය කරන ලබන)
  • බණ්ඩාරවෙල හෝටලය (කළමනාකරනය කරන ලබන)

මාලදිවයින[සංස්කරණය]

අදාරන් හෝටල් සහ නිකේතන ජාලය[සංස්කරණය]

  • අදාරන් ක්ලබ් රනාල්හි
  • අදාරන් ප්‍රෙස්ටීජ් වාදු
  • අදාරන් සිලෙක්ට් හුදුරන්ෆුෂි
  • අදාරන් සිලෙක්ට් මීදුපාරු
  • අදාරන් ප්‍රෙස්ටීජ් වෝට විලාස්

ඉංදියාව[සංස්කරණය]

  • අටිති හෝටලය, පුඩුචේරි
  • බෙයාෆුට් ඇට් හැව්ලොක්, අන්දමන් දූපත්
  • පූවා අයිලන්ඩ් රිසොර්ට්,පූවා
  • තමාරා රිසොර්ට්, කොයිම්බටූර්

ඕමානය[සංස්කරණය]

  • අල් ෆලාජ් හෝටලය, මස්කට්
  • අල් වාඩි හෝටලය, සෝහර්
  • ඩෙසර්ට් නයිට්ස් කෑම්ප්,අල් වසිල්
  • රුවි හෝටලය, මස්කට්
  • සියුර් ප්ලාසා හෝටලය,සියුර්

වෙනත් ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=එයිට්කින්_ස්පෙන්ස්&oldid=397113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි