එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1981-82

විකිපීඩියා වෙතින්
එංගලන්තය 1981–82 දී ශ්‍රී ලංකාවෙහි කල සංචාරය
ශ්‍රී ලංකාව
එංගලන්තය
දින වකවානුව 1982 පෙබරවාරි 17 – 1982 පෙබරවාරි 21
නායකයන් බන්දුල වර්ණපුර කීත් ෆ්ලෙචර්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රෝයි ඩයස් 77 ඩේවිඩ් ගවර් 131
වැඩිම කඩුළු අසන්තා ද මැල් 5 ඩෙරික් අන්ඩර්වුඩ් 8
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු සිදත් වෙත්තමුණි 132 ග්‍රැහැම් ගූච් 138
වැඩිම කඩුළු අසන්තා ද මැල් 6 ඉයන් බෝතම් 4

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, 1982 පෙබරවාරියෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරය කලහ. මෙම සංචාරය සමන්විත වූයේ, එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග දෙකකින් සහ ටෙස්ට් තරග එකකිනි. මෙයට පෙර වසරෙහිදී, ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රීඩා කරන ජාතියක් බවට පත්වූ අතර, එබැවින් මෙය ඔවුන්ගේ සමාරම්භක ටෙස්ට් තරගය විය. අනුස්මරණ මුද්දර සහ කාසි නිකුතුව ඇතුළු උත්සව සම්භාරයක් මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිළියෙල කර තිබුණි.

පළමු එදිජා තරගය එංගලන්තය විසින් ජයග්‍රහණය කල මුත්, ශ්‍රී ලංකා විසින් දෙවැන්න ජයග්‍රහණය කල විට රටෙහි මහත් උත්සව පැවැත්විණි. පළමු ටෙස්ට් තරගයෙහිදීද ඔවුන් හොඳින් ක්‍රීඩා කල නමුදු, ශ්‍රී ලංකාවේ පිතිකරණය අවසන් දිනයේදී බිඳීයෑම නිසා, එංගලන්තය වෙත කඩුළු 7 ක ජයග්‍රහණයක් හිමි විය.

පසුබිම[සංස්කරණය]

1981 වසරෙහිදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි (අයිසීසී) පූර්ණ සාමාජික තත්ත්වය හිමි කර ගත් ශ්‍රී ලංකාව, අටවන ටෙස්ට් ක්‍රීඩාකරන ජාතිය බවට පත් වූහ. [1]1982 පෙබරවාරි මාසයෙහි එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගය, ඔවුන්ගේ සමාරම්භක ටෙස්ට් තරගය විය. එබැවින්, තරංග සංචාරය වෙත ඉමහත් උද්යෝගයක් පැවති අතර, මෙම ඉසව්ව සනිටුහන් කිරීමට අනුස්මරණ මුද්දර සහ කාසි පවා නිකුත් කිරීමට ශ්‍රී ලංකාව උත්සුක විය. උත්සව සංවිධානය කර තිබූ අතර, තරගය දිනයේදී කඩසාප්පු සහ ව්‍යාපාර පවා වසා දැමීමට සැලසුම් කර තිබුණි. ක්‍රිකට් පිටි කිහිපයක් අළුත්වැඩියා කොට වැඩිදියුණු කිරීමද කරන ලදි. දෙවන එක් දින ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කල විට, නරඹන්නෝ පිටියට කඩා වැදී ප්‍රේක්ෂකාගාරවල ගිණිමැල දැල්වූ අතර, රාත්‍රිය පහන් වන තුරු උත්සව පැවැත්විණි. කෙසේවෙතත්, ටෙස්ට් තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස බලාපොරොත්තුවූ පමණට වඩා අඩු වූ අතර, ආරම්භයේදී නරඹන්නෝ සිටියේ 10,000 පමණකි. ඉහළ මට්ටමක පැවති ප්‍රවේශපත්‍ර මිල සහ රූපවාහිණි ආවරණය මෙයට හේතු වන්නට ඇතැයි සිතන ලදි. කෙසේවුවද, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ සමහරක් රජයේ අමාත්‍යවරු ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ. [2]

ඉන්දියාවේ තරග සංචාරයකින් පසුව ඔවුන් දිවයිනට පැමිණීමෙන් පසුව, 1982 පෙබරවාරි 9 දිනදී, එංගලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිගේ XIට එරෙහිව තුන්-දින පුහුණු තරගයකට සහභාගි විය. මහනුවර, අස්ගිරිය ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කෙරුණු මෙම තරගය, ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. [3]

පළමු ටෙස්ට් තරගයේ 25වන සංවත්සරය, වසර 2006 දී ශ්‍රී ලංකාව විසින් පවත්වන ලදි.[4]

පළමු එක්දින තරගය[සංස්කරණය]

1982 පෙබරවාරි 13
ලකුණු පුවරුව
එංගලන්තය 
211 (ඕවර 44.4)
එරෙහි
 ශ්‍රී ලංකාව
206/8 (ඕවර 45)
එංගලන්තය ලකුණු 5 කින් ජයග්‍රහණය කලේය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බැසිල් ඇන්තනී සහ ශ්‍රී ලංකාව හර්බි ෆෙල්සිංගර්
තරගයේ වීරයා: එංගලන්තය ඉයන් බෝතම්
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති.

ශ්‍රී ලංකාව අහිතකර ආරම්භයකට එළඹියේ, අසන්තා ද මැල් විසින් එවූ පළමු පන්දුවට ආරම්භක පිතිකරු ග්‍රැහැම් ගූච් ලබා දුන් උඩ පන්දුව, කඩුළු-රකින්නා රොහාන් ජයසේකර විසින් බිම හෙළිමත් සමගය. ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙසින් ජෙෆ් කුක් දැවී යෑමට පෙර, එංගලන්ත ආරම්භක පිතිකරු යුගලය විසින් කණ්ඩායම් ලකුණු ප්‍රමාණය 55 දක්වා ගෙන ගියහ. එංගලන්තයේ ලකුණු සංඛ්‍යාව 83ක් වත්ම, ඊළඟ පිතිකරු ඩේවිඩ් ගවර් දුවද්දී දැවී ගිය අතර, ඉයන් බෝතම් පිටියට පිවිස ගූච් හා එක්ව ප්‍රබල සම්බන්ධතාවයක් ගොඩ නැගීය.එක් අවස්ථාවකදී, මෙම පිතිකරුවන් දෙදෙන, ඕවර 5 ක් තුල ලකුණු 43 ක් රැස් කලහ. කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව 152 ක්ව තිබියදී හා ඔහුගේ ලකුණු සංඛ්‍යාව 64 ක්ව තිබියදී ගූච් දැවී යෑමට පෙර, ඔහු දවා ගැනීමේ අවස්ථා තවත් දෙකක් ශ්‍රී ලංකාව විසින් මග හරවා ගන්නා ලද අතර, කණ්ඩායම් ලකුණු 191 ක්ව තිබියදී බෝතම් දවා ගන්නා ලදි.

කෙසේවෙතත්, මෙයින් පසු එංගලන්ත පිතිකරණය බිඳ වැටුනු අතර, ඉනිමෙහි අවසන් පන්දු වාරයේදී ඔවුන් සියළු දෙනාම ලකුණු 211 කට දැවී ගියහ.[5][6]

ශ්‍රී ලංකා ඉනිමේදී, එංගලන්තය විසින් ඔවුන්ගේ පළමු බිඳ ගැනීම වාර්තා කලේ, ආරම්භක පිතිකරු සහ නායක බන්දුල වර්ණපුර ලකුණු 10 කට දවා ගැනීමෙනි. කෙසේවෙතත්, ජයසේකර හා එක්වූ සිදත් වෙත්තමුණි විසින් ඔවුන්ගේ කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව 74 දක්වා ගෙන එන ලදි. ඔවුන්ගේ තෙවන, සතරවන සහ, පස්වන කඩුළු ලකුණු 8 ක පරාසයකදී බිඳී යෑමත් සමග, ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් වූහ. මෙය එසේ වුවද, රන්ජන් මඩුගල්ල සහ අනුර රණසිංහ එක්ව ලකුණු 68 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, පන්දු වාරයකට ලකුණු 6 ක රැස් කිරීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන ගියහ. අවසන් පෙළ පිතිකරුවන්ගේ ප්‍රබල පිති හරඹයක් නිසා, ඉලක්කයට සමීප වීමට ශ්‍රී ලංකාවට හැකි වුවද, අවසානයේ ඔවුන්ගේ ඉනිම නිමාවත්ම ඔවුන්ට රැස් කර ගත හැකිවූයේ කඩුළු 8 කට ලකුණු 206 වූ අතර, ඔවුන්ගේ ඉලක්කයට වඩා ලකුණු 5 ක් පමණක් පසුපස සිටියහ.[5][6]

දෙවන එක්දින තරගය[සංස්කරණය]

1982 පෙබරවාරි 14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
215/7 (ඕවර 45)
එරෙහි
 එංගලන්තය
212 (ඕවර 44.5)
ශ්‍රී ලංකාව ලකුණු 3 කින් ජයග්‍රහණය කලේය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස් සහ ශ්‍රී ලංකාව පී. ඩබ්. විදානගමගේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සිදත් වෙත්තමුණි
  • එංගලන්තය විසින් කාසියේ වාසිය ලැබ මුලින්ම පන්දු රැකීම තෝරා ගති.

දෙවන එදිජා තරගය නැරඹීමට 22,000 පමණ ප්‍රේක්ෂක පිරිසක් රැස්වී සිටියහ. එංගලන්තය විසින් පිතිකරණය සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකාව, ලකුණු 5 පමණක් රැස් කර සිටියදී ඔවුන්ගේ පළමු කඩුළු දෙක අහිමි කර ගනිමින් අහිතකර ආරම්භයකට එළඹියහ. කෙසේවෙතත්, වෙත්තමුණි හොඳින් පිතිකරණයෙහි යෙදුනු අතර, ඩයස් දැවී යෑමට පෙර, රෝයි ඩයස් සමගින් කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව 43 දක්වා ගෙන එන ලදි. ඔහු සමග ඊළඟට එක් වූයේ සිය මංගලාවතරණයෙහි එළඹි අර්ජුන රණතුංග වන අතර, දුවද්දී දැවී යෑමට පෙර, ඔහු විසින් රැස් කෙරුණු ලකුණු 42 මගින් කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව 130 දක්වා ගෙන එන ලදි. අනෙකුත් ශ්‍රී ලාංකික පිතිකරුවෝ විශාල ලකුණු අතරට නොඑළඹුනු අතර, ඉනිම අවසන් වන විට, ශ්‍රී ලංකාව, කඩුළු 7 ක් දැවී ලකුණු 215 ක් රැස් කර සිටි අතර, වෙත්තමුණි නොදැවී ලකුණු 86ක් රැස් කර සිටියේය. [7][8]

එංගලන්තයේ පළමු කඩුල්ල ලෙසින් කුක් දැවී යෑමට පෙර, ආරම්භක පිතිකරු යුගලය ගූච් සහ කුක් ලකුණු 109 ක් සම්බන්ධතාවයක් පිහිටවූවමින්, එංගලන්තයට හොඳ ආරම්භයක් දුනි. කෙසේවෙතත්, ඔවුන්ගේ දෙවන සහ තෙවන කඩුළු මුළු ලකුණු සංඛයාව 122 ක්ව තිබියදී දැවී ගිය අතර, බෝතම් වෙතින් ලකුණු 38 ක සම්බන්ධතාවයක් ලබා දුනද ඔවුන්ගේ ලකුණු ගැනීමේ වේගය අඩාල විය. අවසන් පන්දු වාර දෙක තුල, එංගලන්තය ලකුණු 14 ක් රැස් කර ගත යුතුව තිබුණු අතර, ඔවුන්ගේ කඩුළු පහක් ඉතිරිව තිබුණි. විගසින් ලකුණු රැස් කර ගැනුමට උත්සාහ කල එංගලන්ත පිතිකරුවෝ, ඔවුන්ගේ සයවන, සත්වන, අටවන සහ නවවන කඩුළු සිඝ්‍ර අනුපිළිවෙළකින් අහිමි කර ගත් අතර, මේ සියළු කඩුළු දුවද්දී දැවී යාම් වූහ. තරගයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී, එංගලන්තයේ අවසන් පිතිකරු බොබ් විලිස් පන්දුවට පහරක් ගසමින් එය අහසේ ඉහළට යැවූ අතර, මඩුගල්ලේ විසින් උඩ පන්දුවක් ලෙසින් රැක ගති. එංගලන්තය ඔවුන්ගේ ඉලක්කයෙන් ලකුණු 3 ක් පමණක් පිටුපසින් සිටි අතර, තරගය නිමාවූයේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත් කර දෙමිනි.[7][8]

එක් දින තරග මාලාව ජය පරාජයෙන් තොරව අවසන් විය. එංගලන්තය සඳහා වැඩිම ලකුණු රැස් කල ක්‍රීඩකයා වූයේ සම්පූර්ණ ලකුණු 138 ක් ලබා ගත්තේ ගූච් වූ අතර, ශ්‍රී ලංකාව සඳහා වැඩිම ලකුණු රැස් කල ක්‍රීඩකයා වූයේ සම්පූර්ණ ලකුණු 132 ක් ලබා ගත් වෙත්තමුණි විය. තරග මාලාවේ ලකුණු 100 ට වැඩියෙන් රැස් කල එකම ක්‍රීඩකයන් දෙපල ඔවුන් වූහ.[9] තරග මාලාවෙහි වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාළු එංගලන්ත ක්‍රීඩකයා වූයේ බෝතම් වන අතර ඔහු ලකුණු 74 කට කඩුළු 4 ක් දවා ගත්තේය. තරග මාලාවෙහි වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාළු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ ද මැල් වන අතර ඔහු ලකුණු 48 කට කඩුළු 6 ක් දවා ගත්තේය. [10]

එකම ටෙස්ට් තරගය[සංස්කරණය]

1982 පෙබරවාරි 17 - 21
ලකුණු පුවරුව
223 (ඕවර 86.5)
ඩේවිඩ් ගවර් 89 (256)
අසන්තා ද මැල් 4/70 (ඕවර 17)
175 (ඕවර 83.5)
රෝයි ඩයස් 77 (161)
ජෝන් එම්බියුරි 6/33 (ඕවර 25)
171/3 (ඕවර 58.1)
ක්‍රිස් ටැවරේ 85 (220)
අජිත් ද සිල්වා 2/46 (ඕවර 17)
එංගලන්තය කඩුළු 7 කින් ජයග්‍රහණය කලේය
පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: එංගලන්තය ජෝන් එම්බියුරි
විනිසුරුවන්: ශ්‍රී ලංකාව හර්බි ෆෙල්සිංගර් සහ ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස්

ඔවුන්ගේ සමාරම්භක ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන්නේ වර්ණපුර විසින් වන අතර, ඔහු කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකා: මෙම්බර් ප්‍රොෆයිල්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2010.
  2. විලියම්සන්, මාටින්. "ද බර්ත් ඔෆ් අ නේෂන්". Cricinfo.com. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2010.
  3. "ශ්‍රී ලංකා බෝඩ් ප්‍රසිඩන්ට්ස් XI වර්සස් ඉංග්ලන්ඩ් XI (1981/82)". ක්‍රිකට් ආකයිව්. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2010.
  4. තව්ෆීක්, සාදි (31 ජූලි 2006). "ශ්‍රී ලංකා ටු සෙලිබ්‍රේට් 25 ඉයර්ස් ඔෆ් අයිසීසි ෆුල් මෙම්බර්ෂිප්". Cricinfo.com. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2010.
  5. 5.0 5.1 "ඉංග්ලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ඕඩීඅයි සීරීස් (1981/82): ෆර්ස්ට් ඕඩීඅයි". Cricinfo.com. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2010.
  6. 6.0 6.1 "ෆර්ස්ට් වන් -ඩේ ඉන්ටර්නැෂනල්: ශ්‍රී ලංකා වර්සස් ඉංග්ලන්ඩ් 1981–82". විස්ඩන්. Cricinfo.com. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2010.
  7. 7.0 7.1 "ඉංග්ලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ඕඩීඅයි සීරීස් (1981/82): සෙකන්ඩ් ඕඩීඅයි". Cricinfo.com. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2010.
  8. 8.0 8.1 "සෙකන්ඩ් වන් -ඩේ ඉන්ටර්නැෂනල්: ශ්‍රී ලංකා වර්සස් ඉංග්ලන්ඩ් 1981–82". විස්ඩන්. Cricinfo.com. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2010.
  9. "ඉංග්ලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ඕඩීඅයි සීරීස් (1981/82): මෝස්ට් රන්ස්". Cricinfo.com. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2010.
  10. "ඉංග්ලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ඕඩීඅයි සීරීස් (1981/82): මෝස්ට් විකට්ස්". Cricinfo.com. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2010.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග