උමා මහේෂ්වරන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උමා මහේෂ්වරන් (මරණය 1989 ජුලි), හෙවත් මුකුන්දන්, පෙරියර්, වේළුකදිර හා අබ්දුල්ලා මොහොමඩ් නවාස්, 1977-1980 අතර කාලය තුල දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ සභාපතිවරයා විය. ඔහු දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ නිර්මාතෘද වෙයි. 1989 වසරේ ජුලි මසදී ඔහුගේ ආරක්ෂකයෙකු අතින් වෙඩි පහරකට ලක්වීම නිසා ඔහු මරණයට පත්වූ බව පැවසෙයි.[1]

හෙතම 1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයටද සම්බන්ධ වූවෙකි.[2] කෙසේ වූවද උමා කිසිදිනක සිංහල සිවිල් වැසියන් ඉලක්ක කොටගෙන ප්‍රහාර එල්ල නොකල බව සහ එසේ එල්ල වූ ප්‍රහාර ඔහුගේ දැඩි විවේචනයට ලක් වූ බවද සඳහන් වෙයි.[3]

මුල් අවධිය[සංස්කරණය]

උමා මහේෂ්වරන් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්ථමේන්තුවේ සේවය කල අයෙකි.[3] ඔහුට සිංහල භාෂාව මැනවින් හැසිරවීමේ හැකියාවද තිබූ බව පැවසේ. මුල් අවදියේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සාමාජිකයකු ලෙස ක්‍රියාකල ඔහු 1976 දී එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට බැඳුනේය.

එල්ටීටීඊ සංවිධානය සමග[සංස්කරණය]

පසුව එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ සභාපතිධූරත්වයට පත්වූ ඔහු ලෙබනනයේදී, යසර් අර්ෆත්ගේ අල්ෆාටා නම් සටන් සංවිධානයට සම්බන්ධ වී පුහුණුව ලත් බව පැවසෙයි.[3] මෙසේ උමා විසින් ක්‍රමක්‍රමයෙන් එල්ටීටීඊ සංවිධානය තුල සිය ශක්තිමත් අනන්‍යතාවයක් ගොඩනගාගත්තද, ත්‍රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මතවාදයන්ට ප්‍රතිවිරුද්ධ මතවාදයන් දැරීම හේතුවෙන්, උමා සහ ප්‍රභාකරන් දෙදෙනා අතර විරසකයක් ගොඩනැගී තිබිණි. ප්‍රභාකරන්ට වඩා උමා ඉහළ කුලයකට අයත් වීමත්, උමා එල්ටීටීඊ සංවිධානයේ ප්‍රතිපත්ති වලට එරෙහිව යමින් කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වීමත්, දෙදෙනා අතර ගොඩනැගුණු විරසකය තවත් දරුණු මට්ටමකට රැගෙන ගිය බව පැවසේ.

ප්‍රභාකරන් සමග ගැටුම්[සංස්කරණය]

1979 දී ප්‍රභාකරන් විසින්, එල්ටීටීඊ සංවිධානයේ සභාපතිකමෙන් සහ මධ්‍යම කාරක සභා සමාජිකත්වයෙන් උමාව නෙරපා දැමූ අතර, එහිදී උමාට හිතවත් වූ සුන්දරම් නම් අයෙකු ඇතුළු පිරිසක් උමා සමගම, එල්ටීටීඊ සංවිධානයෙන් ලබාගත් අවි තොගයක්ද රැගෙන පලා ගිය බව සඳහන් වෙයි.[3]

ප්ලොට් සංවිධානය ඇරඹීම[සංස්කරණය]

එල්ටීටීඊ සංවිධානයෙන් නෙරපා දැමීමෙන් අනතුරුව 1980 වර්ෂයේදී දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (PLOT) නමින් වෙනමම සංවිධානයක් ආරම්භ කිරීමට උමා පියවර ගත්තේය. එල්ටීටීඊ සංවිධානයේ ප්‍රතිපත්ති තව තවත් උල්ලංඝණය කරමින් මෙසේ නව සංවිධානයක් පිහිටුවීම සම්බන්ධයෙන්, ප්‍රභාකරන් අතිශය කෝපයට පත්වූ අතර, උමාව මරණයට පත්කරවීමට ප්‍රභාකරන්ව පොළඹවන තරම් හේතු සාධකයක් බවට එය පත්විය. නමුත් එම වකවානුව වන විට යාපනයේ පාලනය ශ්‍රී ලංකා හමුදාවන් අතට පත්වීම නිසා, 1981 ජුනි 6 වන දිනදී ප්‍රභාකරන් ඉන්දියාවේ තමිල්නාඩුවට පළා ගියේය.

මේ කාලය වන විට මෙරට තුල ප්ලොට් සංවිධානය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් සංවිධානයක් බවට පරිවර්ථනය වෙමින් පැවතිණි. 1981 ඔක්තෝම්බර් 23 වන දින නිලාවේලි මහජන බැංකුවට ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් සමත්කම් දැක්වූ ඔවුහූ, එහි තිබූ රුපියල් මිලියන 27 ක්ද මංකොල්ලකන ලදී. කෙසේ නමුත් ඒ වනවිට ප්‍රභාකරන් තමිල්නාඩුවට පළාගොස් සිටියත්, එල්ටීටීඊ සංවිධානයේ මෙරට කටයුතු භාරව සිටි සීලන් විසින් ප්ලොට් සංවිධානයේ ප්‍රභලයෙකු වූ සුන්දරම් නැමැත්තාව ඝාතනය කර දමන ලදී. එම ඝාතනය මෙරට දෙමළ සටන්කාමීන් අතර සිදුවූ පළමු ප්‍රසිද්ධ අභ්‍යන්තර ගැටුම ලෙසද සඳහන් වෙයි. මින් අතිශය කිපීමට පත් උමා පළිගැනීමේ චේතනාවෙන්, ප්‍රභාකරන්ව සොයා තමිල්නාඩුවට යන ලදී.

තමිල්නාඩුව තුල ගැටුම[සංස්කරණය]

තමාව සොයමින් උමා තමිල්නාඩුවට පැමිණ ඇතැයි දැනගත් ප්‍රභාකරන්ද ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය. කෙසේ වුවද 1982 මැයි 19 දින රාත්‍රී 9.45 ට පමණ තමිල්නාඩු මදුරාසියේ පොන්ඩිබසාර් සිනමාශාලාවක් ඉදිරිපිටදී දෙදෙනා එකිනෙක මුණගැසුණු අතර, එහිදී ඔවුන් සිනමාශාලාව ඉදිරිපිට සිටි මහජනතාව මධ්‍යයේ එකිනෙකාට වෙඩිතබා තබා ගත්හ. එකිනෙකාට තබාගත් වෙඩි ප්‍රහාර වලින් දුර්වලත්වයට පත්වූ උමා එතැනින් පළා ගිය අතර, ප්‍රභාකරන් ඇතුළු පුද්ගලයෙකු එම අවස්ථාවේදී තමිල්නාඩු පොලීසියට කොටුවිය.[3] ඒ වනවිට ප්‍රභාකරන් ශ්‍රී ලංකා රජයටද අත්‍යාවශ්‍ය පුද්ගලයෙකුව සිටි බැවින්, ඉන්දියාවේදී අල්ලා ගත් ප්‍රභාකරන් ශ්‍රී ලංකා රජයට ඔවුන් විසින් භාරදේවි යැයි බලාපොරොත්තු වූවත්, එවක තමිල්නාඩු මහ ඇමති එම්. ජී. ආර්. ගේ බලපෑම් නිසා ප්‍රභාකරන්ට කිසිදු හානියක් සිදු නොවිණි.

පසුව දරුණු දෙමළ ජාතිවාදී අදහස් ක්‍රියාත්මක කල ප්‍රභාකරන් ප්ලොට් සංවිධානය ඇතුළු අනෙකුත් දෙමළ සටන්කාමී සංවිධාන මර්ධනයට දැඩි පියවර ක්‍රියාත්මක කරන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වීම[සංස්කරණය]

අවි ආයුධ මගින් සිංහල හා දෙමළ ජනවාර්ගික ගැටළුවට විසඳුම් ලබාගත නොහැකි බව, 1988 අප්‍රියෙල් 19 වනදා අස්ගිරිය පාර්ශවයේ මහනායක හිමියන් බැහැදකිමින් ප්‍රකාශ කල උමා මහේෂ්වරන්ගේ විශ්වාසය ඒ වන විට ප්‍රජාතන්ත්‍රවාදය වෙත යොමුවී තිබුණි.[3] කෙසේ නමුත් සිය ඊළාම් සිහිනය බොඳකරවීම නිසා ඔහුගේ සංධානයේ සිටි සාමාජිකයෝද ඔහුට විරුද්ධව පිල් බෙදුණු අතර, අවසානයේදී උමා තනිවූ පුද්ගලයෙකු බවට පත්විය.

ඝාතනය වීම[සංස්කරණය]

1989 ජුලි 16 වන දින රාත්‍රියේදී, අමිර්තලිංගම් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා නිවසින් පිටත්වූ උමා මහේෂ්වරන්ගේගේ ඝාතනය වූ නිසල දේහය පසුදා උදෑසනදී බම්බළපිටියෙන් හමුවූ බව පැවසෙයි.[3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. V.S. Sambandan (නොවැම්බර් 14, 2002). "එල්ටීටීඊ චීෆ් ෆේසස් ඇරෙස්ට්?". ද හින්දු. http://www.thehindujobs.com/thehindu/2002/11/14/stories/2002111402111200.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-05-24. 
  2. N ASOKAN (පෙබරවාරි 26, 2012). "ද ෆේල්ඩ් කූ". ද සන්ඩේ ඉන්ඩියන්. http://www.thesundayindian.com/en/story/the-failed-coup/24/30112/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-05-24. 
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 "උමා-ප‍්‍රභා ගැ ටු ම". දිනමිණ. http://www.dinamina.lk/2009/05/21/praba/?fn=n0905218. සම්ප්‍රවේශය කෙරුණු දිනය 14 අප්‍රියෙල් 2014. 


"http://si.wikipedia.org/w/index.php?title=උමා_මහේෂ්වරන්&oldid=301922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි