අවුකන බුදු පිළිමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අවුකන බුදු පිළිමය

සමභංග ඉරියව්වෙන් යුත් විශාලම හිටි බුදු පිළිම පහක් ශ්‍රී ලංකා‍‍‍‍‍‍වේ වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැවට බටහිරින් අවුකන ග‍‍‍මේ කලා වැව දෙසට මුහුණලා නෙලා ඇති අවුකන බුදු පිළිමය ඉන් එකක් ලෙස දැක්විය හැක.

අවුකන බුදු පිළිමය

දිවයිනේ බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ වැවත් දාගැබත් වෙනුවට වැවත් බුදු පිළිමයත් ය. දාගැබ හෝ බුදු පිළිමය මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුවත් වැව ‍ලෞකික දියුණුවත් සංකේතවත් කරයි. මෙම අවුකන බුදු පිළිමයත් එහි පිළිම ගෙයත් ක්‍රි.ව අටවන සියවසයට අයත්ය

රූප භේදය හෙවත් ප්‍රතිමා ලක්‍ෂණ[සංස්කරණය]

පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒ.පී. අශෝක මහතා සමඟ ට්‍රින්ගෝ මෙට්‍රික් ක්‍රමයට ගන්නා ලද මිනුම් ප්‍රමාණ අනුව පද්මාසනයේ සිට සිරස්පත දක්වා අවුකන බුදු පිළිමයේ උස මිටර් 11.36කි. පද්මාසනය මත වු හිටි බුදු පිළිමය සමභංග ක්‍රමයට තනා තිබේ. මේ ක්‍රමයට ශරිරයෙ බර දෙපා වලට සම සමව බෙදී යන සේ ශරිරය කෙලින් තබාගෙන සිටින බව සැලකිය යුතුය. ඔසවන ලද දකුණු අතේ අභය මුද්‍රාව වෙයි. වමත උරහිස මට්ටමට ඔසවා සිවුර අල්ලාගෙන ඉන්නා ආකාරය දැක්වෙන කටක මුද්‍රාවෙන් යුක්තය. ඇඳුම තනිපට සිවුර, අඳනය හා පටිය යන තුනකින් යුක්තයි. ඇස්වට හන්දියේ සිට අඟල් හතරක් පමණ ඉහළින් අවසන් වන ලෙස අඳනය ඇඳ ඇත. සිවුර පොරවා ඇත්තේ අඳනයේ නුවාව පෙනෙන ලෙස අඳනයේ යට සිමාවට අඟල් හතරක් පමණ උඩින්ය. පටිය නොපෙනෙයි. සිවුර ඒකාංශපාරූපන ක්‍රමයට පොරවා තිබේ. මේ ක්‍රමයට සිවුර පොරවන විට දකුණු උරය විවෘතය. වම් උරය සිවුරට වැසි තිබේ. පෙරවිමේ ක්‍රමයද මෙහිදි සැලකිල්ලට ගත යුතුව ති‍බේ. සාමාන්‍යයෙන් පිටුපසින් වම් උරය මතට වැටෙන සිවුරු පොට දෙවනුවද අනුරාධපුරය අඟ භාගය පමණ දක්වා පැවති ක්‍රමයයි. මේ ක්‍රමයට සිවුර පොරවන විට වම් අතේ මැණික් කටුව දක්වා සිවුරු පොටවල් දෙක පැතිරි ඇත.ඒ නිසා වම් අත පහළ හෙළිය නොහැක.වම් අත පහළට තිබුණොත් සිවුරු පොට බිම තැවරෙයි. එය සංවරයට බාධාවකි.ඒ නිසා වම් අත ඔසවා තබා ගැනිමට සිදුවෙයි. සිවුරේ ඇත්තේ තනි රැල්ලකි. එය අනුරාධපුර යුගයේ බුදු පිළිමවල විශේෂ ලක්ෂණයකි.

අවුකන බුදු පිළිමය මහා පුරුෂ ලක්ෂණවලින් යුක්තය.පිටි පතුල් දෙක, පිටි අතුල් දෙක, උරහිස් දෙක හා කඳ පිරී තිබේ. එය දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සත්තුස්සද ලක්ෂණයයි‍. හිසේ දක්ෂිණාවර්ත කෙස් පිඬු වෙයි. හිසේ මුදුනේ අර්ධ ගෝලාකාර සංකේතයක් හා එය මත සිරස්පතක් වෙයි. අර්ධ ගෝලාකාර ලක්ෂණයෙන් සංකේතවත් වන්නේ හිසින් ඉහළට විහිදෙන බුදු රැස්ය. එය හැඳින්විමට අනුරාධපුර යුගයේදි භාවිත කළ වචනය රංසිපුඤ්ජ යන්නයි. රංසිපුඤ්ජ යන්න පාළි භාෂාවට අයත් වචනයකි. එහි තේරුම වන රැස්ගොඩ යන්නට සමාන සිංහල වචනයක්ද එකල තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.

ප්‍රතිමා ප්‍රමාණ[සංස්කරණය]

අවුකන පිළිමය සඳහා යොදාගෙන ඇත්තේ නව තාල ක්‍රමයයි. මුහුණ මෙන් නව ගුණයක් යටි පතුල් වල සිට නලළේ මැද ඉහළ කෙස් පිඬුව දක්වා උස වෙයි. ඉත්ම නිවැරදිව මෙය අවුකන පිළිම‍යේ වෙයි. ඒ අනුව පිළිමයේ සමානුපාතික සිරස් මිනුම් පහත දැක්වේ.

අවුකන පිළිමය
මුහුණ තාල 1 = අඟල් 12
බෙල්ල තාල 1/3 = අඟල් 4
පබල්ල- පපුව තාල 1 = අඟල් 12
පපුව-නාභිය තාල 1 = අඟල් 12
නාභිය-ලිංග මූලය තාල 1 = අඟල් 12
නලවා තාල 2 = අඟල් 24
දණ තාල 1/3 = අඟල් 4
කෙණ්ඩ තාල 2 = අඟල් 24
විලුඹ තාල 1/3 = අඟල් 4
එකතුව තාල 9 = අඟල් 108

පිළිමයේ පරිසමාප්ත උස මීටර් 11.36 කි. එය මීටර් ගණන අනුපාත ක්‍රමයට මිනුම් ක්‍රමයට පරිවර්තනය කිරිමෙන් එහි උස අඟල් 108ක් හෙවත් තාල නවයක් බව මේ සැසඳිමෙන් අනාවරණය වෙයි. මෙය නව තාල ක්‍රමයට තනන ලද පිළිමයකි. අනුරාධපුරය හා පොළොන්නරුව යන යුග දෙකේදිම බුදු පිළිම නව තාල ක්‍රමයට තනා තිබේ.

අවුකන පිළිමය කවර බෞද්ධ නිකායට අයත්ද?[සංස්කරණය]

අවුකන බුදු පිළිමයේ රූපභේද ලක්ෂණ අතර හිස මුදුනේ අර්ධගෝලාකාර රංසිපුඤ්ජය අභයගිරි හෙවත් ධම්මරුඩි නිකායට අයත් බුදු පිළිම සම්ප්‍රදායේ ලක්ෂණයකි. අභයගිරි සම්ප්‍රදායට අයත් හිටි බුදු පිළිමවල අභය මුද්‍රාවද මහාවිහාර කලා සම්ප්‍රදායට අයත් බුදු පිළමවල අභය මුද්‍රාවද වෙනස්ය. අවුකන බුදු පිළිමයේ අභය මුද්‍රාව දැක්වෙන දකුණුඅතේ ඇඟිලි කෙලින් තබාගෙන ත්බේ. අල්ල පිළිමයේ වම්පසට හරවා තිබේ. මෙය අභයගිරි කලා සම්ප්‍රදායට අයත් ලක්ෂණයකි. මේ අනුව අවුකන බුදු පිළිමය අභයගිරි කලා සම්ප්‍රදායට අයත් ලෙස සැලකිය හැකිය.

නිර්මාණයක් වශයෙන් අවුකන පිළිමය ශ්‍රි ලංකිවේ විශාලතම හිටි පිළිම අතරින් විශිෂ්ට තැනක් හිමිකරගෙන තිබේ. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන පරිදි මෙම පිළිමයෙන් බුදුන්වහන්සේගේ ‍ලෝකෝත්තරත්වය මැනවින් පිළිඹිබු වෙයි. එහිදි පද්මාසනය විශේෂයෙන් වැදගත් වන අතර බ්‍රහ්මයා ඇතුළු දෙවිවරුන්ගේ රූප පද්මාසනය තුළ වු ගර්හපාත්‍රයෙහි තැන්පත්කර ඊට ඉහළින් බුදුරුව දැක්වීමෙන් බුදුන්වහන්සේගේ දේවාතිදේව බ්‍රහ්මාති බ්‍රහ්මට හෙවත් දෙවි බඹුන් ඉක්මවා සිටින බව ප්‍රකාශ වෙයි. කෙලෙසුන්ගෙන් මිදුණු නිසාත් ශාරීරික දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති නිසාත් බුදුන්වහන්සේ මෙහි මහා පුරුෂයකු වශයෙන්ද පෙනි සිටී.

අවුකන බුදු පිළිමය බුදුන් වහන්සේගේ දස බලදාරි ගුණය නිරූපනය කරයි.

මූලාශ්‍රය[සංස්කරණය]

අවුකන බුදු පිළිමය (චන්ද්‍රා වික්‍රමගේ )

මේ අඩවියත් බලන්න[සංස්කරණය]

ශ්‍රී ලංකා‍වේ බුදු පිළිම

"http://si.wikipedia.org/w/index.php?title=අවුකන_බුදු_පිළිමය&oldid=314914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි