අපරාධ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Arrest.svg

අපරාධ නම් වන ප්‍රපංචය නෛතික හා සමාජ විද්‍යාත්මක දෘෂ්ටීන් ඔස්සේ හඳුනාගනිමින් අපරාධ වර්ග පිළිබඳවත් අපරාධ විෂයෙහි දඬුවම ක්‍රියාත්මකවන ආකාරයත් පැහැදිලි කිරීම සිදුවෙයි. "නීතියක් නැතිව අපරාධයක් නැත - Nullum Crimen Sine Lege"(Tappan 1960:23) යන කතිකාව තුළින් අපරාධයත් නීතියත් අතර පවත්නා අත්‍යන්ත සම්බන්ධය විද්‍යමාන වේ. එහෙත් මෙම නීතියත් අපරාධයත් යන ද්විත්වයම කි‍්‍රයාත්මක වන්නේ සමාජය කේනද්‍රකර ගනිමිනි. එහෙයින් අපරාධයත් නීතියත් එක ලෙසම සාමාජයේ කර්යාවලිය කෙරෙහි බලපෑම් කරයි. මෙවන් සංදර්භයක් තුළ අපරාධය යන්න නෛතික පදනමකින් මෙන්ම සමාජ විද්‍යාත්මක පදනමකින් ද හඳුනා ගැනීම කෙරෙහි අපරාධ පිළිබඳව හෙළන විද්‍යාත්මක දෘෂ්ටියේ නාභිගත වීමක් අවශ්‍ය වේ. අපරාධය සමාජයෙහි යහපැවත්ම හා සංවර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරන අතර සමාජමය වශයෙන් පුද්ගලයෙකුගේ පෞරුෂය, අනන්‍යතාවය තත්වය හා සමාජ ගරුත්වය තීරණය වීම කෙරෙහි ද බලපෑම් කරයි.එහි දී අපරාධය යන්න සම්බන්ධයෙන් නෛතික ක්ෂේත‍්‍රය සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරන හෙයින් ද එම නීතියත් අපරාධයත් සමාජයේ සහ පුද්ගලයාගේ පැවැත්ම කෙරෙහි බලපෑම් කරන බැවින් ද උක්ත ප‍්‍රපංචය නෛතික හා සමාජ විද්‍යාත්මක යන ද්විත්වාකාර දෘෂ්ටින්ගෙන් හඳුනාගැනීම වැදගත් වේ. එමෙන්ම අපරාධ වර්ග පිළිබඳවත් අපරාධ විෂයෙහි දඬුවම කි‍්‍රයාත්මකවන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීම සිදුවෙයි.

අපරාධය නෛතික දෘෂ්ටියෙන්[සංස්කරණය]

Law-logo.jpg

අපරාධය නීතිය සමග මෙන්ම සමාජය සමග ද දැඩි ලෙස සම්බන්ධ වන බැවින් ඒ පිළිබඳව නෛතික මෙන්ම සමාජ විද්‍යාත්මක දෘෂ්ටිය ද යොමු වී ඇත. මේ නිසා මෙම එකිනෙක විෂය ක්ෂේත‍්‍රයන්හි අපරාධය නිර්වචනය වී ඇති ආකාරය හඳුනා ගැනීම වැදගත් වේ. නීති ශාස්ත‍්‍රයට අනුව අපරාධයක් යනු නීතියෙන් සුවිශේෂීව තහනමට ලක්කොට ඇති යම් කි‍්‍රයාවක් හෝ පැහැර හැරීමකි” (Encyclopedia of Amaricana p.49). මෙහි යෙදී ඇති තහනම යන්නෙහි පුළුල් අර්ථයක් ගැබ්ව ඇත. එනම් එහි දඬුවමක්ද අන්තර්ගත වේ. අපරාධයක් ලෙස නීතියෙන් අර්ථ ගැන්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳව ටැෆ්ට් (Taft) දක්වන අදහස ද වැදගත්ය. එනම් සමාජ සම්මත නීති කැඞීම පෙරළා සමාජයට අහිතකර ලෙස බලපාන බැවින් එම සමාජ විරෝධී චර්යාව අපරාධ ලෙස පවතින නීතිය විසින් සලකනු ලැබෙයි(Taft 1968 :84 උපුටා ගත්තේ කරුණාතිලක 1998:45නි). මෙවන් අර්ථ කථන හමුවේ අපරාධයක් යනු හුදු අපරාධ නීතිය කඩ කිරීමක් විනා අන් කිසිවක් නොවන බව සදර්ලන්ඩ් දක්වයි. ඔහුට අනුව යම් හැසිරීමක වරදකාරි බව, දුරාචාරය හෝ අශෝභනත්වය නොසලකා හුදු අපරාධ නීතිය කඩ කිරීම අපරාධයකි. යම් කි‍්‍රයාවක නොවැදගත්කම, වගකීම, මරණ සංඛ්‍යාව කුමක් වුවත් නීතියෙන් තහනම්කර නැත්නම් එය අපරාධයක් නොවේ (Suthrland and Cressy 1968:-18) යම් සාමජයකට අපරාධ නීතිය අවශ්‍ය වන්නේ එහි සිදුවන අපරාධ සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමටය. එහි දී අපරාධ නිතිය මගින් යම් පුද්ගල කි‍්‍රයාවක් හෝ වරදක් අපරාධයක් ලෙස සැලකීමට නම් මූලික කරුණු හතක් සම්පූර්ණ විය යුතු බව ඔහු පෙන්වා දෙයි. එනම්,

1. යම් හැසිරිමක් අපරාධයක් ලෙස ප‍්‍රකාශ කිරීමට පෙර යම් බාහිර ප‍්‍රතිඵලයක් හෝ හිංසාවක් නැතහොත් වරදක් සිදුවිය යුතුය. එය මානසික තත්වයක් පමණක් නොව සමාජයීය වශයෙන් වූවක් විය යුතුය,

2. එම හිංසාව නීතිමය වශයෙන් තහනමට ලක්කර තිබිය යුතුය. එපමණක් නොව එය අනිවාර්යයෙන්ම දණ්ඩ නීතියෙන්ද තහනමකට ලක් වී තිබිය යුතුය. සමාජ විරෝධී චර්යාව (Antisocial Behaviour) අපරාධයක් වීමට නම් එය නීතියෙන් තහනම් කර තිබිය යුතුය,

3. සිතාමතා නැතහොත් ආධ්‍යාශයික හෝ අනවධාන (An intentional or reckless) ලෙස හිංසාකාරී කි‍්‍රයාවක් සිදුවිය යුතුය,

4. සාවද්‍ය චේතනාවක් නැතහොත් අපරාධකාරී චේතනාවක් (Mensrea or criminal intent) තිබිය යුතුය. අදාළ වැරදි කි‍්‍රයාව සම්බන්ධයෙන් දක්වා අති මානසික තත්වය පැමිණිල්ල විසින් ඔප්පු කළයුතුවීමත් විත්තිකරු විසින් තම මානසික තත්වය පිළිබඳව නිදහසට කරුණු සමහරක් ඉදිරිපත් කළහොත් පැමිිණිල්ල විසින් විසාධනය කළයුතු වීමත් යම්කිසි විත්තිකරුවෙකුගේ කි‍්‍රයාව සාපරාධී වන කරුණු ඔහු දැන සිටියේ ද යන්න පිළිබඳ සෑහෙන පමණ සැකයක් තිබේ නම් ඔහු නිදහස් කළයුතුය,

5. සාපරාධී චේතනාව හා කි‍්‍රයාව අතර සමගාමීත්වයක් තිබිය යුතුය. නැතහොත් සම්බන්ධයක් තබිය යුතුය,

6. නීතිමය වශයෙන් තහනම් කරන ලද හිංසාව සහ ස්වේච්ඡාවෙන් සිදුකරන ලද විෂමාචාරය අතර හේතුඵල සබදතාවක් තිබිය යුතුය,

7. මෙවැනි කි‍්‍රයා සඳහා නීතිමය වශයෙන් නියමිත දඬුවමක් තිබිය යුතුය. ස්වකීය චේතනාවෙන්ම නීතිය කඩ කිරීම සඳහා නීතියෙන් දඩුවම් දිය යුතුය (Sutherland and cessey 1968:12:14)


මෙම සාධක සත්‍ය වශයෙන්ම අපරාධයක් යනු කුමක්දැයි තේරුම් ගැනිමේදී නිතිය විසින් භාවිත කරනු ලබන මූලිකාංග ලෙස හැදින්විය හැකිය. සෙසු සියලූ කරුණු මෙන්ම දඬුවම ද අපරාධයක් සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු අංගයක් ලෙස නීතිය පිළිගන්නා බවට ඉහත සඳහන් අවසන් කරුණෙන් ගම්‍ය වේ.

අපරාධය සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන්[සංස්කරණය]

Crime scene.png

නීතියට අනුව උක්ත පරිදි අරුත් ගැන්වෙන අපරාධය සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන් අප හඳුනා ගන්නේ අපගාමිත්වය වශයෙනි. ඉන් අර්ථවත් වන්නේ සාමජමය වශයෙන් පවත්නා අගයන් ධර්මතා බිඳ දමමින් සමාජ සම්මතයට පටහැනි චර්යාවන්හි නියුක්තවීමයි. මේ නිසා එවැනි චර්යාවල නියුතුවූවන් සාමාන්‍ය පුදගලයින්ගෙන් වෙන්කොට හඳුනා ගැනේ. එවන් පුද්ගලයින් සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතු ආකාරය ද නීතිය මගින්ම පෙන්වා දි ඇත. ඔවුහු ස්ථිරවම නිර්දිශ්ට දඬුවමට යටත් විය යුතුය. යථාර්ථයේ දී සියලූම අපරාධකරුවන් නීතියට යටත් නොවුණ ද නෛතික පිළිගැනීම වන්නේ එසේ විය යුතු බවයි. එහෙත් සමාජ විද්‍යාත්මකව අපරාධ යන්න හඳුනා ගන්නේ මිනිසා සමාජයීය සත්වයෙකි යන පදනමේ පිහිටමින් වන අතර එම සමාජ සත්වයා සමාජ සම්මතය බිඳිමින් කි‍්‍රයාත්මක කරන චර්යාවක් වශයෙනි. ඔවුහු පවත්නා සමාජ සම්මතයෙන් අපගමනය වූවන් හෙවත් අපගාමීන් ලෙසින් සමාජ විද්‍යාවේ දී හඳුනා ගැනේ. එවන් අපගාමී චර්යාව (නෛතිකව නම් අපරාධකාරී චර්යාව) කෙරෙන් පුද්ගලයා මුදවාගෙන ඔහු යළිත් පවත්නා සාමාජයට අනුගත කරවා ගැනිම නීතියේ මෙන්ම සමස්ත සාමාජයේම වගකීමයි. මේ නිසා අපරාධයේ බරපතල භාවය අනුව ඒවා වර්ග කරමින් දඬුවම් පැමිණවීමට අපරාධ නීතිය හඳුන්වා දීමටත් පුර්වයේ සිටම මානව වර්ගයා හැඩ ගැසී තිබුණි. අපරාධ විෂයෙහි දඬුවම කි‍්‍රයාත්මක වන ආකාරය විමසා බැලීම වැදගත්ය.

අපරාධ වර්ග[සංස්කරණය]

පෙර සඳහන් කළ නෛතික මූලධර්මයන්ට යටත්වන ආකාරයෙන් විවිධ අපරාධ විදයාඥයින් විසින් විවිධ ආකාරයෙන් අපරාධ වර්ගීකරණය කොට ඇත. මෙම අධ්‍යයනයේදී අපරාධ වර්ග පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීම පිණිස පහත වර්ගිකරණය උපයෝගීකර ගතහැක. එනම්,

  1. සාමාන්‍ය අපරාධ (Ordinary crims)
  2. සංවිධානාත්මක අපරාධ (Organized crims)
  3. වෘත්තීය අපරාධ (Proffesional crims)
  4. සුදු කරපටි අපරාධ (White coller crims)
  5. කම්කරුවන්ට එරෙහි අපරාධ (Crimes against workers)
  6. සාමූහික අපරාධ (Corporate crims)
  7. මහජන පැවැත්ම පිළිබඳ අපරාධ (Crims of public order)

(කරුණාතිලක 1998:58-59)

මින් සාමාන්‍ය අපරාධ ඕනෑම සමාජයක දැකිය හැකි ලක්ෂණයකි. සාමාන්‍ය අපරාධ සහ වෘත්තිමය අපරාධ යන දෙවර්ගය නිරන්තයෙන් හමු නොවන අතර මේ දෙවර්ගයේම අපරාධ සමාජයීය කි‍්‍රයාවලියේ හේතූන් නිසා ඇති වන බව රෙක්ලස් දක්වා ඇත (Reckless1973:137 උපුටා ගත්තේ කරුණාතිලක 1998:60නි). මේ බව පැහැදිලි කරන කරුණාතිලකට අනුව රෙක්ලස් මෙසේද දක්වා ඇත. ර්‍සාමාන්‍ය අපරාධකරුවන් තමන්ගේ දක්‍ෂතාව ගැන සිතන්නේ නැතිව බලය යෙදීමට උත්සාහ කරන අතර සමහර අවස්ථාවලදී ආයුධ පාවිච්චි කරනු ලබයි. (කරුණාතිලක 1998:60). ඒ අනුව සාමාන්‍ය අපරාධ කිසිදු උපායශිලිත්වයක් නැතිව ඔවුනොවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනිමේ චේතනාවෙන් කරනු ලබන්නක් බව පැහැදිලි වේ.

සංවිධානාත්මක අපරාධ නිදහස් හා අවිධිමත් ලෙස ආරම්භ වන අතර පසුව ඒවා විධිමත් බවට පත්වන විශේෂිත සබඳතාවලින් යුක්ත වූවක් බවට පත්වේ (Lindsmith 1941:119)ග එසේම සංවිධානාත්මක අපරාධ පාතාල ලෝකය සමඟද සමාන බවක් උසුලයි. බොහෝවිට පාතාල ලෝකයේ අපරාධ කල්ලි දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සංවිධානය වී තිබෙනු දැකිය හැකිය (කරුණාතිලක 1998:62).

සාමාන්‍ය අපරාධකරුවන්ට වඩා වෙනස් වන වෘත්තීය අපරාධකරුවන් එම ක්ෂේත‍්‍රය තම වෘත්තිය වශයෙන් නොකඩවා කරගෙන යනු දැකිය හැක. සාමාන්‍යයෙන් මෙයට කියන්නේ ලාභ ලැබෙන අපරාධකාරී රැුකියාවන් ලෙසයි (කරුණාතිලක 1998:63).

සමාජයේ ඉහළ තලයේ සිටින පරිපාලන නිලධාරින්, ව්‍යාපාරික හිමියන්, රාජ්‍ය නිලධාරින් සහ දේශපාලකයන් ආදීන් විසින් සිදුකරනු ලබන අපරාධ සුදු කරපටි අපරාධ ලෙස හැඳින්වේ (කරුණාතිලක 1998:65).

කම්කරුවන්ට එරෙහිව අපරාධ බොහෝ විට කැපී පෙනෙන අංගයක් බවට පත් වන්නේ ධනවාදී සමාජයකය. ධනපතියා හා කම්කරුවා අතර පරතරය බෙහෙවින් වැඩි සමාජ අවධියක් වන ධනවාදී අවධියේදී ධනපතීන් විසින් කම්කරුවන් ව විවිධ අන්දමිින් සූරාකෑමට ලක් කිරිමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවැනි අපරාධ ජනිත වේ (කරුණාතිලක 1998:69).

සාමුහික අපරාධ සමාජයේ කිසියම් විශේෂිත කොටසක් විසින් සිදු කරනු ලබන අපරාධ වර්ගයක් ලෙස සැලකිය නොහැක. සමාජයේ සියලූ දෙනා විසින්ම තම සමාජයේ පැවැත්මට එරෙහිව සිදු කරන අපරාධ වේ නම් ඒවා සාමුහික අපරාධ නම් වේ. රටක ආර්ථීකයේ පැවැත්ම එහි වර්ධනය ආශ‍්‍රිතව ද රටේ අපරාධ නීතිය යටතේ මහජනයාට එරෙහිව අපරාධ සිදු කර ඇත. එයට සම්බන්ධිත නිලධාරින් සියල්ල ඊට වගකිවයුතු වේ (කරුණාතිලක 1998:70).

අපරාධ බොහෝ විට නිර්වචනය වන්නේ මහජන පැවැත්මට එරෙහි ක‍්‍රියාවක් ලෙසයි. එහෙත් මෙම මහජන පැවැත්ම පිළිබඳ අපරාධ සාමාන්‍ය අපරාධවලට වඩා කෙලින්ම සමාජයේ පැවැත්මට හානි පමුණුවයි. මෙවැනි අපරාධ ලෙස සැලකිය හැකි වන්නේ ගණිකා වෘත්තිය, සමලිංගික සේවනය, බීමත්කම, විෂ මත්ද්‍රව්‍ය භාවිතය, සූදුව, රථවාහන වැරදි, නොහොබිනා හැසිරිම් සහ අයාලේ යාම වැනි ක‍්‍රියාවන්ය. මෙවැනි ක‍්‍රියා සම්බන්ධයෙන් විවිධ සමාජවල විවිධ වූ පිළිගැනිම් හෝ ප‍්‍රතික්‍ෂ්ප කිරිම දැකිය හැකිය. නීතිමය වශයෙන්ද විවිධත්වයක් පිලිඹිබු කරයි (කරුණාතිලක 1998:72).

මෙසේ අපරාධ වර්ග පිළිබඳ ව සංක්ෂිප්තව හඳුනා ගැනිමෙන් පසු අපරාධ විෂයෙහි දඩුවම ක‍්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය.

අපරාධ විෂයෙහි දඬුවම ක‍්‍රියාත්මක වන ආකාරය[සංස්කරණය]

High cort.jpg

අපරාධය යනු කුමක්දැයි සත්‍ය වශයෙන් හඳුනා ගැනීමට නීතිමය වශයෙන් භාවිත කරන මූලධර්ම හතක් සදර්ලන්ඩ් විසින් ඉදිරිපත් කර ඇති බවත් ඒවා කවරේද යන්නත් ඉහත දී සාකච්ඡා කෙරුණි. ඒ අනුව අපරාධයක් සඳහා තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයක් ලෙස දඬුවම පිළිබඳව ද එහි කරුණු ඇතුළත් විය. අපරාධ නීතිය මෙන්ම අපරාධ හා සම්බන්ධ දඬුවමද ඉතා ගැඹුරු මෙන්ම සංකීර්ණ සංකල්පයක් ලෙස හඳුන්වා දිය හැක. නූතන සංකීර්ණ සමාජවල මෙම දඬුවම් ක‍්‍රියාත්මක කිරිම සදහා වෙනම ආයතන ගොඩනගා තිබීම විශේෂ ලක්‍ෂණයකි. නීතිය ක‍්‍රියාත්මක කිරිමෙහි ලා බන්ධනාගාර හා පුනරුත්ථාපන ආයතනත් මෙම සමාජවල දැකිය හැකිය. දඬුවම යන්න නූතන සමාජවලට පමණක් විශේෂිත වුවක් නොවන බවත් එය පැරණි ගෝත‍්‍රික සමාජයන් හි පවා පැවති බවත් බි‍්‍රතාන්‍ය ජාතික සමාජ මානව විද්‍යාඥ මැලිනොව්ස්කි ගේ වනචාරි සමාජයේ අපරාධය සහ සිරිත(Crime and custom in savage society 1926 by Bronislaw Malinowski) යන කෘතියෙන් පැහැදිලි වේ. එම ප‍්‍රාථමික සමාජවල දඬුවම කි‍්‍රයාත්මක කිරීම පිණිස අපරාධ නීතියක් නොපැවති අතර එය කි‍්‍රයාත්මක කෙරුණේ සිරිත විසිනි. ක‍්‍රම ක‍්‍රමයෙන් මෙම සිරිත නීතිය දක්වා සංවර්ධනය වූයේ සමාජ පරිණාමයත් සමඟය. සමාජ පරිණාමය අනුව නීතිය යන්න වැදගත් වූ අතර, එම කි‍්‍රයාවලියට සාපේක්ෂව දඬුවම ද ප‍්‍රධාන මූලධර්ම කිහිපයක් ඔස්සේ සංවර්ධනය වී ඇත. එනම්,

  1. දඬුවම පලිගැනීමක් වශයෙන් (Punishment as retribution)
  2. දඬුවම භය ගැන්වීමක් වශයෙන් (Punishment as Detterent)
  3. දඬුවම චරිත ශෝධනයක් වශයෙන්(Punishment as Reformation)
  4. දඬුවම සමාජ ඒකාබද්ධතාව ආරක්ෂා කරන්නක් වශයෙන් (Punishment as a Social Solidari

(Bonger 1916 : 287 - 292)

දඬුවම පලි ගැනීමක් වශයෙන් කි‍්‍රයාත්මක කිරීම පැරණිතම මානව ශිෂ්ටාචාරවල සිට පැවත එන්නකි. කි‍්‍ර.පූ. 1857 දී ජීවත් වූ හමුරාබ් නම් පාලකයාගේ නීතිය මෙහිලා මාහැඟි සාක්ෂියකි. ඔහුගේ අදහස වී ඇත්තේ වරදෙහි බරපතල භාවය අනුව දඬුවම දිය යුතු බවයි. එනම් ඔහු "දතට දතක්” "ඇසට ඇසක්” යන මූල ධර්මය මත වරදකරුවන්ට දඬුවම පැමිණ වූ බව ප‍්‍රචලිතය.

සෑම අපරාධයක් සඳහාම සමාජය පිළිගත් පදනමක් මත දඬුවම ලබා දීම තුළින් අපරාධකරුවන් සහ සාමාන්‍ය මහජනතාව තුළ අපරාධ සම්බන්ධයෙන් බියක් අති කිරීම මගින් අපරාධ පාලනය කිරීම දෙවන මූල ධර්මයෙන් අදහස් වේ. මිනිසා සතුටට වැඩි කැමැත්තක් දක්වන අතර වේදනාව ප‍්‍රතික්ෂේපකරයි. අපරාධය සඳහා දෙන දඬුවම වේදනාකාරී වුවකි. යම් අපරාධයක් කිරීමෙන් එවැනි වේදනාකාරී දඬුවමකට යටත්වීමට සිදුවන බවට පුද්ගලයෙකු තුළ ඇති කෙරෙන බිය ඔස්සේ ඔවුන් අපරාධ කිරීමෙන් වළක්වා ගත හැකි වේ. බෙත්තම් (Benthem1748 -1832). බෙකාරියා (Becaria 1738 -1794), සැමුවෙල් රොමිලි (Romilly 1737 - 1818) ආදී සම්භාව්‍ය ගුරුකුලය නියෝජනය කරන අපරාධ විද්‍යාඥයින්ගේ ද අවධානය යොමු වූයේ දඬුවම බිය ගැන්වීමක් වශයෙන් යොදාගත යුතු බවත් පුද්ගලයා කරනු ලබන අපරාධයේ ප‍්‍රමාණයට දඬුවම ලබාදිය යුතු බවත් පෙන්වා දීම කෙරෙහිය.

යම් පුද්ගලයෙකු අපරාධයක් සිදු කරන්නේ යම් චේතනාවක් සහ ඔහුගේ චරිතය හේතුකොට ගෙනද එම චරිතය හා චේතනාව වෙනස් කිරීම ඔස්සේ පුද්ගලයා අපරාධ සිදු කිරීමෙන් වළක්වා ගැනීම දඬුවම චරිත ශෝධනයක් වශයෙන් යොදා ගැනීමේ පරමාර්ථයයි. එනම් එය පුනරුත්ථාපනය මුල්කරගත් දඬුවම් ක‍්‍රමයකි. මෙවැනි දඬුවම් ක‍්‍රමයක් බිහි වීමට මුල් වූයේ ඉතාලි ජාතික ලොම්බ්‍රෝසෝ සහ ඔහුගේ අනුගාමිකයන් දෙදෙනෙකු වූ ෆෙරි (Ferri 1856 – 1928 )සහ ගරොෆාලෝ (Garofallo 1852 -1934 ) යන අපරාධ විද්‍යාඥයින්ගේ අදහස්ය. දඬුවම පිළිබඳ මෙම මූලධර්මය නූතන නීතිය සහ අධිකරණ පරිපාලනය තුළ බෙහෙවින් උපයෝගී කර ගන්නා අතරම එය පුද්ගල පුනරුත්ථාපනය (individual rehabilitation) දක්වා වර්ධනය වී ඇත.

යම් සමාජයක සාමාජිකයින්ගෙන් අපරාධ සිදු කරන්නේ සුළු පිරිසකි. එහෙයින් සෙසු බහුතරයගේ පැවැත්ම උදෙසා එම අපරාධකරුවන් හට දඬුවම් ලබා දිය යුතුවේ. මේ අනුව දඬුවම සමාජ පැවැත්මට අනිවාර්ය සාධකයක් ලෙස හඳුනා ගැනීමෙන් එය සමාජ ඒකාබද්ධතාවය ආරක්ෂා කරන්නක් වශයෙන් සැලකිය හැකිය.

මේ ආකාරයෙන් කි‍්‍රයාත්මක වන දඬුවම සාධාරණීකරණය කිරීමට බොහෝ නීතිවේදින්, අපරාධ විද්‍යාඥයින් හා සමාජ විද්‍යාඥයින් උත්සාහ කර ඇත්තේ ප‍්‍රධාන අවශ්‍යතා දෙකක් පදනම් කර ගනිමිින් බව Meier උපුටා ගනිමින් කරුණාතිලක දක්වයි. එනම්,

1. සාධාරණත්වය පිළිබඳ හැඟීම

2. සමාජ පාලනය හා ආරක්ෂාව පිළබඳ අවශ්‍යතාව (Meier 1985 : 178 උපුටා ගත්තේ කරුණාතිලක 1998 : 86 නි). එසේ ගොඩනැගෙන්නා වූ දඬුව‍‍මෙහි ප‍්‍රධාන ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන ඇත. එනම්,

1. විශ්ව සාධාරණ බව (uniformity)

2. නියත බව (Certainity)

3. ඉක්මන් බව(Celerity)

4. බරපතල බව (Severity) (Sutherland and cressy 1995 :281).

ඉහත කරුණු අනුව අපරාධය සහ දඬුවම යන ප‍්‍රපංච ද්විත්වයම එකිනෙකට සමගාමීව ගමන් කරන බව පෙනේ. එමෙන්ම අපරාධ විෂයෙහි දඬුවම කි‍්‍රයාත්මක වන්නේ සුවිශේෂී අරමුණු පෙරදැරිකර ගනිමින් බව ද ඉහත කරුණුවලින් ගම්‍ය වේ. දඬුවම සම්බන්ධයෙන් වන කතිකාවෙහි දී සමාජ වෙනස්වීමට සාපේක්ෂව දඬුවම ද වෙනස් විය යුතු බව ඩුර්ඛයිම්ගේ අදහසයි(Sutherland and cressy 1955:305-306).

ආශි‍්‍රත ග‍්‍රන්ථ[සංස්කරණය]

  • කරුණාතිලක, කේ. 1998. අපරාධ බාල අපරාධ හා පුනරුත්ථාපනය. කඩවත: මාලිංග ප‍්‍රකාශකයෝ.
  • Bonger,William A.1916.Criminality and Economic Condition. New York: Little Brown.
  • Lindsmith, Aifred R. 1941. Organized Crime. The Annals of the American Academy of Political and Social Science. Volume 217.
  • Sutherland, E.H. and Cressy, D.R.1955.Principls of Criminology(fifth edition). New York: J.B.Lippincott copmpany.
  • Tappan, Paul W. 1960. Crime, Justice and Corrections. New York: Mc Grew Hill Book Company.

සබැඳි පිටු[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=අපරාධ&oldid=266038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි