අනුරාධපුර පෞරාණික නගරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අනුරාධපුරය, යනු ශ්‍රි ලංකාවේ පෞරාණික අගනුවරකි. අනුරාධපුරය පදනම් වූ ශ්‍රි ලාංකීය ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුලු මහත් ලෝකයේම බිහිවූ විශිෂ්ඨතම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකිය හැකිය.

නගරය මේ වන විට යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අනුරාධපුරය, වත්මන් අගනුවර වන ‍කොළඹ නගරයේ සිට කාලෝ මීටර් 205ක් පමණ උතුරින් උතුරු මැද පළාතේ මල්වතු ඔය අසබඩ පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්‍ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානියේ එනම් සිංහලේ අගනුවර වශයෙන් පැවතුනි. එම කාලය තුල දකුණු ආසියාවේ ඉතාම බලවත් සහ ස්ථාවර සහ කල්පවත්නා දේශපාලනික පාලන තන්ත්‍රයක් හා ජනජීවිතයක් පැවතුනි. එමෙන්ම එය ඉතා පොහොසත්, අනභිබවනීය සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වී තිබුණි. දැනට වර්ග කිලෝමීටර 40කින් පමණ සමන්විත, විහාරාරාම විශාල ප්‍රමාණයකින් වලින් වටවුනු අනුරාධපුර ‍පෞරාණික නගරය බෞද්ධ ලෝකය තුල ඉතා වැදගත් හා පූජනීය ස්ථානයක් ගනී. ලෝකයේ ප්‍රධානතම පුරා විද්‍යා ස්ථාන වලින් එකක් ලෙස අනුරාධපුර පෞරාණික නගරය හඳුන්වා දිය හැක. මෙම නගරය හින්දූන්ටද වැදගත් වන අතර රාමායණයේ සඳහන් අසුර වංශික රාවණා රජුගේ රාජධානියේ අගනුවර ලෙසද සැලකේ.

අනුරාධපුරය නගරය[සංස්කරණය]

ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගය[සංස්කරණය]

ඓතිහාසික මූලාශ්‍රයන්හි සහන් වන පරිදි අනුරාධපුර නගරය අාරම්භ වී ඇත්තේ ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂ්‍ය ලැබී ඇතත් ක්‍රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු ඇත්තේ මද වශෙයනි.

අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී ෙමම පුරවරෙය් පැවති ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අශ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්‍රි.පූ 700-600 අතර කාලෙය්දී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්‍රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් ඒ වටකොට පිහිටා තිබුණි. ආක්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.

මෑත පූර්ව ඓතිහාසික යුගය[සංස්කරණය]

ක්‍රි.පූ 500-250 අතර කාල පරාසයක විහිදුණ මෑත පූර්ව ඓතිහාසික යුගය වංශකතා ඇසුරින් අධ්‍යයනය කළ හැකිය. නගරද්වාර, වෙළෙඳපොළ ආදිය සහිතව නගරය ක්‍රමිකව සැලසුම් කරන ලද්දේ පණ්ඩුකාභය රාජ්‍ය සමයෙහිය. එසමයෙහි ආසියාවේ පැවති විශාලතම නගරයන්ගෙන් එකක් වූ එය ඒ වන විට වර්ග කිලෝ මීටරයක භුමි භාගයක් වසා සිටින්නට ඇතැයි සිතිය හැක

ආරම්භය[සංස්කරණය]

අනුරාධපුරයෙහි සැලැස්ම මහාවංශයෙහි විස්තර කෙරෙන්නනේ මෙසේය.

ක්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්‍රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උ‍දෙසා වූ නුග රුක, ව්‍යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්‍රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්‍රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්‍රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බව‍ට පත් කරමින් ක්‍රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්‍රදාය ඉතා වැදගත් වේ.

නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්‍යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්‍රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්‍යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්‍යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්‍රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්‍යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.

හින්දු ආගම සහ අනුරාධපුරය[සංස්කරණය]

හින්දු වීර කාව්‍යයක් වූ රාමායණයෙහි එන අසුර රාජ රාවණයන්ගේ අගනගරය අනුරාධපුරයෙහි පිහිටි බව කියැවේ. පුරාවෘතයෙහි එන පරිදි රාමයන්ගේ අනුගාමිකයකු වූ හනුමන් විසින් නගරය දවාහළු කරනු ලැබීය. හින්දූන් අතර ජනප්‍රිය ඇති පුරාවෘතයෙන් කියැවෙන්නේ, අද වුවද අනුරාධපුරයෙහි කුමන ස්ථානයක කැණීමක් කළත් අළු ස්තරයක් දැකිය හැකිවන බවය.

බුද්ධාගම සහ අනුරාධපුරය[සංස්කරණය]

බුදු දහමේ හඳුන්වා දීමත් සමඟම මෙම නුවර විසල් කැපීපෙනීමක් ලැබුවාක් මෙන්ම මහා ඉඳිකිරීම් යුගයක් ද ඇරඹුනි. මහා වංශය පවසන්නේ කුටකන්‍න තිස්ස රජු විසින් රියන් හතක් උස තාප්පයක් ජල අගලක් ඉදිරියෙන් පවතින පරිදි පලමු තාප්පය ඉදිකළ බවයි. පසුව වසභ රජු විසින් මෙය රියන් 11 සිට රියන් 18 දක්වා උස්කොට තවදුරටත් බලවත් කරන ලදි. එසේම රජු විසින් ශක්තිමත් දොරටු නිවස්න, වාසල් කඩ ඉදි කර ඇති අතර ඒවායෙහි නටබුන් අදද දැකිය හැක. මහා වංශය තව දුරටත් පවසන්නේ ඉදිකිරීම් හිදී නිමිති කියන්නන් සහ වාස්තු විදුවන් ගේ උපදෙස් ලැබූ බවය.

දේශාටනයේ යෙදුන සුප්‍රකට ෆාහියන් හිමියන්ගේ වාර්තාවලට අනුව මෙම නගරයේ සැලැස්ම ‍හා ගොඩනැගීම දුටු උන්වහන්සේ අතිශය මවිතයට පත් වී ඇත. උන්වහන්සේ සඳහන් කරන අන්දමට නගරයේ ජනයා වසය කළ ප්‍රදේශය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදී පැවතුනි. එක් කොටසක් වෙළඳුන්ට සහ අනිත් කොටස කෘෂිකර්මාන්තයෙන් යැපුන සමාන්‍ය ජනතාවටය. වෙනත් මූලාශ්‍රවලින් මෙම වෙළෙන්ඳන් ගැන තවත් විස්තර ලැබී ඇත. මෙහි සඳහන් වෙළඳුන්ගේ නිවාස ඉතා හොඳ තත්වයේ පොහොසත් ගණයේ ලා සැලකිය හැකි නිවාස විය. සමහර වෙළඳුන් විදේශිකයන් වූ අතර ඔවුන් දක්‍ෂිණ භාරතීය, මධ්‍යධරණී ප්‍රදේශ වලින් පැමිණියවුන් හා පර්සියානුවන් ලෙස හඳුනාගත හැක.

මහාවංශය සඳහන් කරන පරිදි දේවානම්පිය තිස්ස රජතුමා සංඝයා වහන්සේලාගේ උපෝසථ කර්ම සඳහා අවශ්‍ය වන සීමාමාලක ආදිය නිමකරවා දී ඇත. රජතුමා හා වැසියන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මත පිහිටා ජීවත් විය යුතු බව එතුමා තදින් විශ්වාස කළේය. බෞද්ධ විහාරාරාම ප්‍රසාද මන්දිර තැනීම ඇරඹීම සඳහා දේවානම්පිය තිස්ස රජතුමා විසින් මහාමේඝ උයනේ සීමා ලකුණු කර තැබීය.

විශ්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ[සංස්කරණය]

රුවන්වැලි සෑ රදුන්

විසල් විහාර මන්දිර සංකීර්ණ සහ පැරණි ලෝකයේ උසම ගොඩනැගිලි මහා ගොඩනැගීම් යුගයක් ඇරඹිය. අදටත් ජේතවනාරාමය දාගැබ ලොව උසම ගඩොලින් තැනූ ගොඩනැගිල්ල වේ.

මහා විහාරය සම්මත ථෙරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය වූ අතර එය ක්‍රි.පූ. 249 දී දේවානම් පියතිස්ස රජු විසින් ඉදිකරන ලදි. අභයගිරි විහාරය මහායාන බෞද්ධයන් විසින් පිහිටුවන ලදි. ක්‍රි.පූ. 275-310 කාලයේ රජ කළ මහසෙන් රජු විසින් අභයගිරි විහාරය සහ මහා විහාරය අතර ජේතවනාරාම විහාරය ඉදිකළේය.

නගරාසන්නයේ අති විසල් ස්තූප සහිත වූ ප්‍රධාන විහාර ඉදිකෙරුණි. මහා විහාරයට අයත් මහා ස්තූපය, ශ්‍රි මහා බෝධිය, ථූපාරාමය ආදිය නගරයට දකුණින් ඇත. අභයගිරිය උතුරින්ද, පුබ්බාරාමය නැගෙනහිරින්ද, තනොවාන ඊසාන දෙසින්ද ගිණිකොන දෙසින් ජේතවනාරාමයද පිහිටා තිබේ. ශ්‍රී දළදා වහන්සේ අනුරපුරයට ගෙන ආවේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමන් ගේ කාලයෙහිය. දළදා වහන්සේ වැඩසිටි ගොඩනැගිල්ල දම්මචක්ක ලෙස හැදින්වේ. වසරක් පසා පෙරහරින් එය අභයගිරිය වෙත ගෙන ගොස් දළදා ප්‍රදර්ශණයක් පැවැත්විය.

මහා වාස්තු විදු යුගය[සංස්කරණය]

නගරයේ දියුණුව[සංස්කරණය]

අනුරපුර නගරය පූජා මධ්‍යස්ථානයක් මෙන්ම පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස ජනප්‍රිය වීම විශාල ජනගහනයක් නගරයේ තිර පදිංචිය සඳහා පෙළඹවීය. එබැවින් වැඩිවෙන ජනගහනය උදෙසා වාසය සඳහා වූ පහසුකම් වැඩිදියුණු විය. වසභ රජු විසින් උමං ජල මඟ ජාලයක් හරහා ජලය සැපයෙන පොකුණු සමූහයක් ඉදිකොට නගරයට ජලය සැපයීය. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම සඳහා තිස්ස (තිසා) වැව, නුවර වැව සහ අභය(වාපි) වැව තැනවීය. මල්වතු ඔය හරස් කොට අක්කර 4408 (17.84 km²) පුරා නච්චදූව වැව තැනවීය.

නගරයට උයන් ද ලැබුණි. තිසා වැව මත්තෙහි පවතින රනමසු උයන ඉන් එකකි. නමුත් එය රජ පවුලෙහි සාමාජිකයන් සඳහා පමණක් වෙන් වුනි.

සෞඛ්‍ය රැකීම සහ අධ්‍යාපනය යනු පරිපාලන විසින් සැලකිල්ල දැක්වූ අනෙකුත් කාරණා වේ. නුවර තුල ආරෝග්‍යශාලා බොහොමයක් විය. හතරවන සියවසයෙහි රජ වූ දෙවනි උපතිස්ස රජු අන්ධයින්ට සහ ආබාධිතයන්ට නිවෙස හා නේවාසිකාගාර ඉදි කළේය. ක්‍රි.ව. 337-365 දක්වා රජ කළ මහා වෙදදුරෙක් ලෙස කීර්තියට පත් බුද්ධදාස රජතුමා, සෑම ගම්මාන 10 කටම වෛද්‍යවරයකු පත් කළේය. ගොවි බිම් වලින් එන ලැබීම් වලින් 10න් කොටසක් එම වෙදදුරන් ගේ නඩත්තුව සඳහා වෙන් කෙරුණි. සෑම ගමකම රෝගීන් සඳහා වෙදහලක් (සරණක්) පිහිටවීය. සතුන්ට වෙදකම් කිරීම උදෙසා පවා වෛද්‍යවරු පත් කැරුණි. ක්‍රි.ව. 914 සිට 923 දක්වා රජකම් කළ පස්වන කස්සප (කාශ්‍යප) රජු අනුරාධපුර දකුණු වාසල්කඩ සමීපයෙහි රෝහලක් ඉදි කළේය. සේන ඇමතියා විසින් දස වන සත වසෙහි මංගල වීදිය ආසන්නයෙහි රෝහල් ඉදි කළ බව පැවසේ. වෛද්‍ය පහසුකම් ගැන ඉතිහාසය, ක්‍රි.පූ. 4 වන සියවස වූ පණ්ඩුකාභය රජු නගරයේ සනීපාරක්ෂාව සඳහා රෝහලක් ඉදිකිරීම දක්වා දිව යයි. නගරය පිරිසිදුව තබා ගැනීම විශාල ශ්‍රම බලකායකට පවරා තිබුණි.

මහා නගරය[සංස්කරණය]

ක්‍රිස්තු වෂර්‍ වල ආරම්භක කාලයේ අනුරාධපුර නගරය එහි උපරිම තලයට පැමිණුනි. වර්‍ග සැතැප්ම 256ක (663 km²) වපසරියක් වටකොට ඉදි කෙරුනු සැතැප්ම 16 (26km) බැගින් දිග දිග බැමි (තාප්ප), එහි වූ ජනගහනය, අලංකාර දෙවොල්, මහජන මන්දිර හා ගත් කල නිනෙවෙ(හ්) සහ බැබිලෝනියා ශිෂ්ඨාචාරයන් එකල සිටි උපරිම තලයට සමව අනුරාධපුරය ද පැවතුනි. පෞරාණික ලෝකයේ තිබූ වඩාත්ම සංකීර්‍ණම වාරිමාර්ග පද්ධතිය සහිත වූ මෙම නගරය පිහිටියේ වියලි කලාපය තුල වුවත් පරිපාලනය විසින් වැව් තනා පෙදෙසම වාරිමං තනන ලදි. මෙම බොහෝ වැව් අද ද පවතී. මේ වන විට ලොව පවතින පැරණිතම ජලාශ ලෙස මේවා සැලකේ.

අනුරපුර බිඳවැටීම[සංස්කරණය]

දිගින් දිගටම වූ දකුණු ඉන්දීය ආක්‍රමණ වලින් තැවුණු නගරය අවසානයේදී ක්‍රි.ව. 1017 දී අතහැර දැමිණ. මෙම මහා නගරය ක්‍රි.පූ. 5 වන සියවසයෙහි සිට ක්‍රි.ව. 1017 දක්වා ලංකාවේ අගනගරය ලෙස පැවතුනි. එහි පසුබැස්ම ඇරඹියේ දකුණු ඉන්දීය ආක්‍රමණයන්ට එරෙහිව දිගින් දිගටම වූ යුද වැදීම නිසා රාජධානිය ආර්ථිකමය අතින් දුප්පත් වීමය. ක්‍රි.ව. 1017 දී චෝල අක්‍රමණික හමුදාව අනුරාධපුරය ආක්‍රමණය කළ අතර එය අතහැර ඊට සාපේක්‍ෂව ආරක්‍ෂිත පොළොන්නරුවට පරිපාලන නගරය ගෙන ගියේය. නගරයට සහ එහි වූ වාරි සංකීරණයට වූ අති මහත් විනාශය හේතුවෙන් එය සම්පූර්ණයෙන් ම අතහැර අවුරුදු දහසකට ආසන්න කාලයක් ජරාවාස වන්නට හැරුණි. පසුව 19 වන සියවසේදී බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් කැළෑ හෙළි කර නැවත ජනාවාස ඇති කෙරිණි.

නටබුන්[සංස්කරණය]

අනුරාධපුරයේ නටබුන් ප්‍රධාන ලෙස වර්ග තුනකට බෙදේ, එනම්, දාගැබ්, විහාර මන්දිර සහ පොකුණු ලෙසය. දාගැබ් අඩි කිහිපයක සිට අඩි 1100 (340m) පමණ වට ප්‍රමාණය දක්වා විහිදෙන ආකාරයෙන් විවිධ ප්‍රමාණයෙන් දක්නට ලැබේ. සමහර දාගැබ් වැසියන් විසිපන්දහකට පමණ විසිය හැකි නගරයක් ඉදිකිරීමට යෙදවිය හැකි පෙදරේරු වැඩ වලින් යුක්ත වෙයි. ඔසවන ලද ශෛලමය වේදිකා මත හා ගල් කණු මත කෙර වූ විහාර මන්දිර සෑම දෙසකම දක්නට ලැබේ. මේ අතරින් ක්‍රි.පූ. 164 දී දුටු ගැමුණු මහරජතුමා විසින් කරන ලද ලෝවාමහාපාය මහත් පරසිඳුය. සෑම තැනකම පාහේ විසිර ඇති පොකුණු නෑමට සහ බීමට ජලය සැපයීමට ඉදි කොට තිබේ. ක්‍රි. පූ. 245 වසර තෙක් දිව යන ලොව දීර්ඝතම ලිඛිත අතීතයක් ඇති ජය ශ්‍රී මහා බෝධිය ද නගරයෙහි පිහිටා තිබේ.

අනුරාධපුරයේ නටඹුන්[සංස්කරණය]

පරිවාර බෝධීන් වහන්සේලාගේ ආරක්ෂාව මැද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
අභයගිරි දාගැබ.
කුට්ටම් පොකුණ.

අටමස්ථානය[සංස්කරණය]

වෙනත් නිර්මාණ[සංස්කරණය]

වෙනත් නටඹුන්[සංස්කරණය]

අනුරාධපුර පූජනීය නගරය හා ඒ අවට තවමත් නිසි ලෙස හඳුනා නොගත් හා පුරාවස්තු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවූ පුරා විද්‍යා ස්ථාන බොහොමයක් පවතී. ඉන් සමහරක් දෙමළ ආක්‍රමණිකයන් විනාශ කොට ගොස්ය. සංචාරකයන් හෝ වන්දනාකරුවන් මේවාට වැඩි අවධානයක් යොමු නොකරන අකර ඒවා පිළිබඳව තොරතුරුද අල්පය. එමෙන්ම ශ්‍රේෂ්ඨ අවුකන පිළිම වහන්සේද අනුරාධපුර ප්‍රධාන නගරයෙන් ඈත්ව පිහිටීම නිසා වැඩි අවධානයකට ලක් නොවන්නේය.

ජන සංයුතිය[සංස්කරණය]

ජනවර්ගත්වය ජන සංඛ්‍යාව ප්‍රතිශතය
සිංහල 51,775 91.42
Sri Lankan Moors 3,825 6.75
දෙමළ (ස්වදේශීය) 850 1.50
දෙමළ (ඉන්දීය සම්භවය) 45 0.08
අනෙකුත්(අන්තර්ගතව බර්ගර්, මැලේ) 137 0.24
මුළු එකතුව 56,632 100

[1]

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

සිතියම්[සංස්කරණය]

සිතියමට යොමු වන්න

සටහන[සංස්කරණය]

  1. www.statistics.gov.lk - Census 2001

සම්බන්ධය[සංස්කරණය]

  • Harischandra, B. W.: The Sacred City of Anuradhapura, Reprint. New Delhi, Asian Educational Services, 1998.
  • Nissanka, H.S.S.: Maha Bodhi Tree in Anuradhapura, Sri Lanka : The Oldest Historical Tree in the World, New Delhi 1996, (Reprint. Vikas)
  • R. A. E. Coningham.: The Origins of the Brahmi Script Reconsidered: The New Evidence from Anuradhapura, Minerva 8(2): 27-31, 1995.
  • R. A. E. Coningham.: Anuradhapura Citadel Archaeological Project: Preliminary Results of a Season of Geophysical Survey. South Asian Studies 10: 179-188, 1994.
  • A. Seneviratne.: Ancient Anuradhapura The Monastic City, Archaeological Department of Sri Lanka. p. 310, 1994.
  • S. M. Burrows, The Buried Cities of Ceylon - A Guide Book to Anuradhapura and Polonaruwa Reprint, p. 120, 1999.

අඩවියෙන් බැහැර පි‍ටු[සංස්කරණය]

සැකිල්ල:Srilankancities

සැකිල්ල:World Heritage Sites in Sri Lanka සැකිල්ල:Coor title dm

"http://si.wikipedia.org/w/index.php?title=අනුරාධපුර_පෞරාණික_නගරය&oldid=310345" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි