අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
F0904302-1-1-.jpg
ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත

ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවෙහිද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විශේෂයෙන් ලංකාවේ සිදුවූ මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් ආර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම, උපතිස්ස ග්‍රාම, විජිත ග්‍රාම, ඌරුවෙල ජනපදය, දීඝායු, කතරගම, සදුන්ගම, මාගම, රාමගොණ්ණ, කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය, කලා ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ, ගල් ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය,වලවේ ගඟ, කැළණි ගඟ යන ගංගා මිටියාවත් ආශ්‍රිතව පිහිටා තිබේ.

වියළි කලාපයේ ගංඟා මිටියාවත් ආශ්‍රිතව ජනපද පිහිටවූ ආර්යයන්ට ජනගහනයේ වර්ධනයත් සමඟ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවීම නිසා ඔවුන් වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වූහ. එසේ වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වීමේදී එම ප්‍රදේශයේ පැවති තැනිතලාවන්හී භූගෝලීය ලක්ෂණය ආර්යයන්ගේ ප්‍රධාන බෝගය වූ වී ගොවිතැනට වඩාත් යෝග්‍ය විය. එහෙත් වියළි කලාපීය ප්‍රදේශයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී පමණි. ඒ අතර එය අඟල් 50-75ත් අතර ප්‍රමාණයේ වර්ෂාවක් විය.වියළි කලාපයට නොයෙක් කාලවල සාගත, නියඟ ආදියට මුහුණ දීමටද සිදු විය.වියළි කලාපයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී වූවත් කෘෂි කාර්මික කටයුතු වලට වසර පුරා ජලය අවශ්‍ය වූයෙන් එම වසරකට වරක් අතිරික්තව ලැබුණු ජලය සුරක්ෂිතව ගබඩා කරගෙන පරිහරණය කිරීමට සිදුවිය.එම අරමුණෙන් යුක්තව වැව් ඉදි කිරීම ඇරඹි බව පැහැදිලිය.

වාරි නිර්මාණයන්හි වැදගත්කම[සංස්කරණය]

වර්ෂය පුරාවට ලැබුනු අතිරික්ත ජලය සුරක්ෂිතව තබාගැනීමේ මූලික පරමාර්ථයෙන් වාරි කර්මාන්ත කෙරහි ශ්‍රී ලාංකිකයන් නැඹුරැ වූ බැව් අප මූලිකව අවබෝධකර ගත්තෙමු.එහිදී ජලපහරක් ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට කොටු කරමින් එක් පසකින් පමණක් ලී දඬු,කොල අතු වැනි දෑ හරස් කොට පූර්ව යුගයේ වාරි නිර්මාණ සිදු කළද,ඒවායේ වූ තාවකාලික බව හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් එම නිර්මාණයන් වෙත දේශීය ඉංජිනේරැ දැනුම භාවිත කරමින් වඩා සංකීර්ණ වූ නිර්මාණ බවට ඒවා පරිවර්තනය කළේය.මෙලෙස ක්‍රමයෙන් ලාංකීය වාරි නිර්මාණ ලොව අන් කිසිඳු රටක දක්නට නොවන ආකාරයෙන් සුවිසල් හා විශ්මිත වූ නිර්මාණයන්ගේ තත්වයට වර්ධනය විය. විශේෂයෙන්ම තාක්ෂණයෙන් උසස් යැයි කියා ගන්නා වත්මන් ඉංජිනේරැ තාක්ෂණයන්ට පවා හසු නොවන්නා වූ ක්‍රමවේදයක් අපගේ අතීත වාරි නිර්මාණ ශිල්පීන් සතු වූ බැව් ඇතැම් වාරි නිර්මාණ අපට පසක් කරයි.උදාහරණ ලෙස, මින්නේරිය වැව,කලා වැව,පරාක්‍රම සමුද්‍රය ආදී වැව් යෝධ ඇළ ආදී වූ නිර්මාණ පෙන්වා දිය හැක.

ශ්‍රී ලංකාවේ අතීත වාරි නිර්මාණයන්හි වූ විශිෂ්ඨත්වය විදේශිකයන් පවා ඉහළින් අගය කොට ඇත.ඒ බැව් පහත ප්‍රකාශයෙන් පවා පැහැදිලි වේ. "යුරෝපයේ නිසි ශීලාචාරකමක් ඇතිවන්නට ශතවර්ෂ ගණනාවකට පෙර උපන් ආර්යය වර්ගයා විසින් නිපදවන ලද දේවල් බලා පුදුමයට පත් වන්නට යුරෝපීයන්ට සිදු වී තිබේ.ලක්දිව ගොවිතැනට ජලය සැපයීම කර තිබෙන වැව් කර්මාන්තය ගැන පරීක්ෂා කර බැලීමේදී පුරාණ වැව් බැදීමේ තාක්ෂණය විස්මය ජනක බැව් කිව යුතුය.සිංහල ඉංජිනේරැවන්ගේ වැඩ අප විසින් කරනු ලබන පැනමා ඇළ බැදීමේ වැඩට සංසන්දනය කර බැලීමේදී එම වැඩ පෙර සිංහල ඉංජිනේරැවන්ට ළමයකුගේ ක්‍රීඩාවක් මෙන් වැටහෙනවා ඇත."

  • -ඇමරිකානු දේශාටක බිගැලෝ-1910

(සිරිවර්ධන,ප්‍රසාද් ම්ලින්ද;ශ්‍රී ලංකාවේ අර්ථික විකාශය සංක්ෂිප්ත විමසුම.2002.)


වාරි නිර්මාණ සඳහා වූ රාඡ්‍ය දායකත්වය[සංස්කරණය]

මුල් යුගයේ ඉදි වූ වාරි කර්මාන්ත ඉතා සරල වාරි කර්මාන්ත වන අතර කඳු පන්තීන් දෙකකින් වට වූ භූමි ප්‍රදේශයක් සරලව ආවරණය කරමින් වැවක් ඉදි කලේය.ඒමෙන්ම ඍජුවම වැවේ සිට කුඹුරට ජලය ලබා ගැනීම වැනි සරල වාරි කර්මාන්ත මුල් යුගයේ පැවතුණි.එසේම ඇළ පහරක් හරහා තාවකාලිකව අමුණක් බැඳ ගොවි බිම් වලට ජලය ලබා ගැනීම පැවති සම්ප්‍රදාය බැව් දීඝ නිකාය ටීකාවේ සදහන් වේ. මෙම මුල් යුගයේ ඉදි වූ සරල වාරි කර්මාන්ත බොහෝ විට පුද්ගලික මෙහයවීමෙන් නිර්මාණය වූ අතර ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදි වූ මේවා ගම් වැව් ලෙස හැදින්වේ.ක්‍රිස්තු පූර්ව යුගයේ ලියවී ඇති ශිලා ලේඛන වලින් පුද්ගලික වැව් හිමියන් සිටි බව වව් හමික,වපි හමික,ගමික යන තනතුරැ නාමයන්ගෙන් පැහැදිලි වේ.වංශ කතාගත තොරතුරැ වලට අනුව ලංකාවේ ඉදිකරනු ලැබූ පැරණිම ගම් වැව වශයෙන් සදහන් වන්නේ විජය හා පැමිණි අනුරාධ අමාත්‍යවරයා විසින් අනුරාධ ග්‍රාමයේ ඉදිකළ වැවයි.

වංශකතාගත තොරතුරැවලට අනුව ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය තුළින් වැවක් ඉදි කිරීම පිළිබදව සදහන් වනුයේ අනුරාධ අමාත්‍යයා ඇරඹි අනුරාධ ග්‍රාමය අංග සම්පූර්ණ පුරයක් බවට පත් කළ පණ්ඩුකාභය රජු නගරය ආශ්‍රිතව ඉදි කළ අභය හෙවත් බසවක්කුලම වැවයි.එය මෙතෙක් ලක්දිව හමු වී අති පැරණිතම වාරි කර්මාන්තයයි.එතැන් පටන් ලක්දිව රජවරැ විවිධ ප්‍රමාණයන්ගෙන් වාරි කර්මාන්ත සදහා දායකත්වය සැපයූ අතර ඉතා විශාල වශයෙන් වාරි කර්මාන්ත සංවර්ධනය වූ අවධි ආර්ථික අතින්ද සමෘද්ධිමත් යුගයන් විය. විශේෂයෙන් කෘෂිකර්මාන්තය සදහා ජලය අත්‍යාවශ්‍යම සාධකයක් වූ අතර එය විශාල වශයෙන් ලැබීම තුළ කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති වී ආර්ථික සමෘද්ධිය ලඟා විය.එමෙන්ම රජතුමා ජනතාව අතර ආදර ගෞරවයට හා ජනප්‍රියත්වයට පත් වීම සඳහා ද මෙම වාරි නිර්මාණ ඉවහල් විය.ඇතම් රජවරැ වාරි නිර්මාණ නිසා ජනතාව විසින් දේවත්වයෙහිලා සලකා තිබේ.උදාහරණයක් ලෙස ක්‍රි.ව.274-301 අතර රජ කළ මහසෙන් රජු "මින්නේරිය දෙවියෝ හෙවත් හත් රජ්ජුරැ බණ්ඩාර" ලෙස ජනතාව අතර වන්දනයට පාත්‍රව ඇත.වාරි නිර්මාණ ඉදි කිරීම තුළින් රජු ,ජනතාව ඒවායින් ලබා ගත් ජලය වෙනුවෙන් බදු අය කළ අතර ,එය රජුගෙ අාදායම් ඉහළ යාමටද හේතු විය.

මූලිකවම ලංකාවේ අනුරාධපුර යුගය හා පොළොන්නරැ යුගයන්හිදී වාරි කර්මාන්තය වේගයෙන් සංවර්ධනය වූ අතර රාජ්‍ය මැදිහත් වීමද ඒ සදහා නොමදව හිමි විය.එකී අවධීන් පහත පරිදි පෙළගැස්විය හැක.

  • වසභ රඡතුමා (ක්‍රි.ව.67-111)

මධ්‍යම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයාය. වාරි නිර්මාණ සදහා මුල් වරට විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය හිමි වේ. වැව් 11ක් හා ඇළ මාර්‍ග 12ක් නිර්මාණය කළේය. භූමිය මැනීම හා සමෝච්ඡ රේඛාකරණය දියුණු තත්වයක පැවත ඇත.


  • මහසෙන් රඡතුමා (ක්‍රි.ව.274-301)

විශාලම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයාය. වැව් 16ක් හා ඇළ මාර්‍ගයක් නිර්මාණය කළේය. වාරි කර්මාන්තයට කළ ව්ශිෂ්ඨ සේවය නිසාම ජනතාව අතර දේවත්වයට පත්ව තිබේ.


  • ධාතුසේන රඡතුමා (ක්‍රි.ව.465-473)

අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධියයි. මහ වැව් 18ක් හා ඇළ මාර්‍ග කිහිපයක් නිර්මාණය කළේය.


  • පළවන පරාක්‍රමබාහු රඡතුමා (ක්‍රි.ව.1153-1186)
පළවන පරාක්‍රමබාහු රජතුමා

පොළොන්නරැ යුගයේ රාජ්‍ය පාලනය කලේය. ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධියයි. "අහසින් වැටෙන ජලය මදකුදු ලෝකෝපකාරයෙන් තොරව කිසි කලෙකත් මුහුදට නෙයේවා" යන ආදර්ශයෙන් ක්‍රියා කර ඇත. අමුණු 165,මහ වැව්163,ඇළ මාර්‍ග3910,කුඩා වැව්2376 ක් හා සොරොව්340 ක් නිර්මාණය කළේය.


මේ අාකාරයට මූලිකවම අතීත රාජ්‍ය මැදිහත්වීම ඔස්සේ සංවර්ධනයට පත් ලක්දිව වාරි කර්මාන්තය තුළ ඉදි වූ නිර්මාණයන් මූලිකවම කොටස් කිහිපයකට වර්ග කළ හැක.

  • වැව්
  • ඇළ මාර්ග
  • පොකුණු

මෙකී වාරි නිර්මාණයන් ඉදි කිරීමෙන් පමණක් නොනැවතුණු රජවරැ ඒවායේ නඩත්තුව සඳහා වෙනමම නිලධාරීන් පත් කළ අතර වැව් ජලයට ලබා ගත් බදු මුදල් වලින් ඒවා නඩත්තුවට අවශ්‍ය මුදල් ප්‍රමාණයන්ද වෙන්කරන ලදී.වැව් නඩත්තුවට හා ඒවා භාරව පත් කළ නිලධාරීන් අතර , අණාණික තිශ-වාරි කර්මාන්තය හා සම්බන්ධ ඉංජිනේරැවන්(දඔල්ලෙන් ලැබුණු සෙල් ලිපියක්) අඩිතය උතර-ඇළ මාර්ග භාරව කටයුතු කළ නිලධාරී(කෑගල්ල දිස්ත්‍රික්කයේ මාපිට විහාරයේ ලෙන් ලිපියක්) වැවෑ ජෑරැම්-වැව් කර්මාන්තය හා සම්බන්ධ විධායක නිලධාරී(මිහින්තලයෙන් ලැබුණු දෙවන සේන රාජ්‍ය කාලයට අයත් ලිපියක්) යන නිලධාරීන් සිටි බව සදහන් වේ.එසේම වැවෙන් ලබාගත් ජලය සඳහා උදක භාග හෙවත් දකබක, දකපති, මතර මජිබකපති යන බදු වර්ග අය කරගත් බැව් සෙල් ලිපි සාක්ෂි දරයි.මෙය මුදලින් නැතිනම් අස්වැන්නෙන් කොටසක් ලෙස අය කරගත් බැව් සදහන් වේ.

වැව්[සංස්කරණය]

ස්වාභාවිකව පිහිටි ජල මාර්ගයකට බාධකයක් දමමින් මූලිකවම වැව් ඉදි කිරීම ඇරඹි අතර ,පසු කාලීනව එය දියුණු හා සංකීර්ණ වූ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ විශාල වශයෙන් වර්ධනය විය.මූලිකවම වියළි කලාපයේ කෘෂිකර්මාන්තයට බාධකයක් වූ ජලය එක් රැස්කර තබා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් බිහි වූ වැව් පසු කාලීනව ඉතා විශාල ජල ධාරිතාවක් රදවා තබාගත හැකි නිර්මාණයක් දක්වා වර්ධනය විය.ඒ අනුව ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට ජලය මැදිවන ලෙස එක් පසෙකින් බැම්මක් ඉදිකිරීමෙන් ඇරඹි වැව සදහා නවීන අංගයන් එක් වන්නට විය. ඒ අනුව වැව් බැම්ම,සොරොව්වට අමතරව බිසෝකොටුව,සළපනාව,පිටවාන ආදී වූ නවීන අංගයන් වැවට එක් විය.

වැවක කොටස් හා එහි කාර්යය[සංස්කරණය]

වැවක කොටස්
අංගය කාර්යය
*වැව් බැම්ම වැවේ ජලය රඳවා තබා ගනී
*සොරොව්ව ජලය අවශ්‍ය ප්‍රමාණයට මුදා හරී
*සළපනාව රළ පහරින් වැව් බැම්මට විය හැකි හානි වළක්වයි
*පිටවාන අතිරික්තව ලැබුණු ජලය මුදා හරී
*බිසෝ කොටුව සොරොව්ව වෙත එන අධික පීඩනය අවම කරයි

පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ලක්දිව වාරි කර්මාන්ත ඉතිහාසය එතැන් පටන් විවිධ රාජ්‍ය අනුග්‍රහයන් යටතේ සංවර්ධනය විය.එය සැකෙවින් මෙසේ පෙළගැස්විය හැක.

  • පණ්ඩුකාභය රජු -බසවක්කුලම වැව (අභය වැව)
  • දේවානම්පියතිස්ස රජු -තිසා වැව
  • මහානාග රජු -තිස්ස වැව, වළස් වැව
  • දුටුගැමුණු (දුට්ඨ ගාමිණී) රජු -සොරබොර වැව
  • සද්දාතිස්ස රජු -පදවිය වැව ඇතුළු වැව් 18ක්
  • ආමණ්දගාමිණී අභය රජු -මහා ගාමෙන්දි වැව
  • ඉලනාග රඡු -තිස්ස වැව, දූරතිස් වැව
  • සදමුහුණුතිස්ස රඡු -මනිකාලගාම වැව
  • වසභ රජු -නොච්චිපොතාන වැව, හිරිවඩුන්න,කාලියවධන, මාන්නන්කැටිය,මහවිලච්චිය, කලා බළලු වැව ඇතුළු වැව් 11ක්
  • මහසෙන් (මහා සේන) රජු -මින්නේරිය වැව, කවුඩුළු, හුරෑළු, මහගල් කඩවල, මහකණදරා, මාමිණියා වැව ඇතුළු වැව් 16ක් ඉදි කර ඇත.විශාලතම වාරි කර්මාන්තය වන්නෙ අක්කර 4670ක භූමියක් වැසී යන පරිදි සැතපුම් 1.25ක් දිග වැව් බැම්මකින් යුත් මින්නේරිය වැවයි.
  • පළමුවන උපතිස්ස රජු -‍තෝපා වැව, දුඹුතුළු වැව ඇතුළු වැව් 06ක්
  • ධාතුසේන රජු -කලා වැව, මානවත්තු හෙවත් යෝධ වැව ඇතුළු වැව් 18ක් ඉදි කර ඇත.විශිෂ්ඨතම නිර්මාණය වන්නේ අක්කර 6380ක භූමියක් වසා ගත් සැතපුම් 3.75ක් දිග වැව් බැම්මකින් යුත් කලා වැවයි.

යෝධ වැවේ ඇති විශිෂ්ඨත්වය වනුයේ සැතපුම් 7ක් දිග අඩි 14ක් උස වැව් බැම්ම සම්බන්ධ කිරීමට ස්වාභාවික කඳු පන්තීන් දෙකක් නොමැති වුවත් වැව් බැම්ම අර්ධ කවාකාර බැමි දෙකක් ලෙස නිමවා වැවක් ඉදි කිරීමට ලාංකීය වාරිකාර්මික ශිල්පීන් සමත්ව ඇති බැවිනි.

  • දෙවන මුගලන් රජු -පත්පහණ වැව, පදවිය වැව ඇතුළු වැව් 03ක්
  • පළමුවන අග්බෝ රජු -මාදුරෑ වැව, කුරැන්දවාපිය වැව, මිහින්තලේ වැව
  • දෙවන අග්බෝ රජු - කන්තලේ වැව, ගිරිතලා වැව, බලාහස්ස වැව ඉදි කර ඇත.මේ අතරින් කන්තලේ වැව ලංකාවේ ගැඹුරැතම වාරි කර්මාන්තය ලෙස සැලකේ.එහි වැව් බැම්මේ ඇතැම් ස්ථානයක උස අඩි 52.5ක් පමණ වේ.
  • පළමුවන විඡයබාහු රජු -බුදුගුණවාපිය වැව
  • පළමුවන පරාක්‍රමබාහු රජු - පරාක්‍රම සමුද්‍රය, තෝපා, දුඹුතුළු, එරබදු, පරාක්‍රම තටාක, මහින්ද තටාක, පරාක්‍රම සාගර, ඒකහවාපී වැව ඇතුළු මහ වැව් 163ක් හා කුඩා වැව් 2376ක් ඉදි කර ඇත.මොහුගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නෙ පරාක්‍රම සමුද්‍රයයි.අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යටවන පරිදි නිර්මිත එහි බැමමේ දිග සැතපුම් 8.5ක් පමණ බවත් උස අඩි 40ක් පමණ වන බවත් සදහන්ය.

පුරාවිද්‍යා සාක්ෂි මත තහවුරැ කරගන්නා ලද වාරි නිර්මාණයන් මෙපමණ වූවත්, ඊට වඩා විශාල ප්‍රමාණයක් වැව් ලක්දිව ඉදිවන්නට ඇත.නමුත් ඒවා පිළිබදව සඳහන් නොවන්නට ඇත්තේ ඇතැම් විට ඒවා රාජ්‍ය අනුග්‍රහය මත ඉදි නොවීම හෝ ඉදි කළ නිර්මාණයන්ගේ පුරාවිද්‍යාත්මක සාධක විනාශ වී යාම නිසාවෙනි.ලංකාවේ අතීත රාජධානි මාරැවීමේදී විශේෂයෙන් පොළොන්නරැ යුගයෙන් පසු රාජධානි ඉතා සීමිත වූ කාලයක් පැවතීම නිසා පසු යුගයන් තුළ එතරම් විශාල වාරි නිර්මාණයන් සිදු නොවුණි.

ඇළ මාර්ග හා අමුණු[සංස්කරණය]

ස්වභාවිකව පිහිටි ඇළ මාර්ග හා ගංගා හරස් කරමින් වැව් තැනීම ආරම්භ කළද, ජනතාවගේ අවශ්‍යතාවය මත කෘතිමව ඉදිකළ ඇළ මාර්ගයන්ද අපගේ අතීත වාරි කර්මාන්තය තුළ දැකගත හැක. මූලිකවම වැවකට ජලය ගෙන ඒමට හෝ එකී වැවක පවතින අතිරික්ත ජලය තවත් වැවකට ගෙන යාමේ අරමුණු ඇතිව ඇළ මාර්ග ඉදි විය. එසේ ඉදි වූ ඇළ මාර්ගයන්ටද අතීත වාරි කාර්මික දැනුම එක සේ අදාල කර ගත් අතර, වත්මන් නිර්මාණයන් හා සසදද්දී ඒවා ඉතා උසස් මට්ටමක විය. ඇතැම් නිර්මාණ ගංගාවන් තරමටම විශාල වූයෙන් ඒවා ගංගා වශයෙන් ම පොදු භාවිතය තුළ හැඳින්විණි. ජය ගඟ වැනි ඇළ මාර්ග ඒවාට උදාහරණයන්ය.

වැවි ඉදිකිරීම තරම්ම අතීතයක නොවුණද ඇළ මාර්ග ඉදි කිරීමද අපගේ අතීත රජවරුන් සතුව ජනප්‍රියව පැවති බවට සාක්ෂි පවතී. මේ පිළිබඳව ප්‍රථම වරට පැහැදිලි සාක්ෂි මතු වන්නේ ක්‍රි. ව. 67 - 111 අතර කාලයේ රාජ්‍ය කළ වසභ රජුගේ කාලයෙනි. ඔහු විසින් මහවැලි ‍ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අඹන් ගඟ හරස් කරමින් සැතපුම් 30 ක් දුරට විහිදෙන පරිදි ඇලිසාර හෙවත් ඇළහාර ඇළ ඉදිකළ බැ‍ව් දැක්වේ. මේ නිර්මාණයට අමතරව ඔහුගේ රාජ්‍ය කාලයේ ඇළ මාර්ග 11 ක් ඉදි වූ බැව් දැක්වේ. මේ අනුව අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයේ ප්‍රධාන සංධිස්ථානයක් වන වසභ රාජ්‍ය කාලය වන විට ඇල මාර්ග තැනීමෙහි වටිනාකම හා ඒ පිළිබඳව වූ කිසියම් අවබෝධයක් අපගේ අතීත වාරි ඉංජිනේරුවන් සතු වූ බැව් පැහැදිලිය. මීට අමතරව මේ කාලයේදීම පොකුණු නිමවා ඊට පොළව යටින් ජලය ගෙන යාමේ උමං ජල මං ක්‍රමයක් පැවති බවටද සාක්ෂි වේ. එය වංශ කතාවෙහි "ජල මාතිකා ” යනුවෙන් දක්වා තිබේ. මේ අනුව අපගේ ඇළ මාර්ග ඉදිකිරීමේ තාක්ෂණය එවකටද ඉතා දියුණු මට්ටමක පැවති බවට පසක් වේ.

අමුණු ඉදි කිරීම බොහෝ විට වැව් තැනීම සඳහා යොදා ගත් අතර විශේෂයෙන් වැවකට ජලය ලබා ගැනීමේදී ගංගාවක් හරස් කිරීම සඳහා අමුණු ඉදි කළේය. ඇතැම් අවස්ථා වල අමුණක් ඉදි කරමින් ස්වභාවික ගංගාවක දිශාව වෙනස් කරමින් වෙනත් ප්‍රදේශයකට ජලය ලබා ගත් අවස්ථාද ඇත. අපගේ අවධානය මීලඟට යොමු වන්නේ අපගේ අතීත ඇළ මාර්ග හා අමුණු නිර්මාණයන් පිළිබඳව විමසා බැලීමටයි.

  • මහසෙන් රජු ( ක්‍රි. ව. 274 - 301 ) - අනුරාධපුර යුගයේ විශාලම ප්‍රමාණයේ වැවි ඉදි කිරීමේ ආරම්භකයා හැටියට සැලකෙන මහසෙන් රජගේ කාලයේදී ඉදිවූ කවුඩුළු වැව සඳහා පබ්බත ඇළ නම් වූ ඇළ මාර්ගයක් ඔස්සේ ජලය ලබාගත් බව දැක්වේ. මීට අමතරව තලවතු ඇළ නම් වූ විශාල ඇළ මාර්ගයක් මොහුගේ රාජ්‍ය අනුග්‍රහය මත ඉදි වූ බවත්, වසභ ඉදිකළ ඇළහැර ඇළ මින්නේරිය දක්වා දීර්ඝ කිරීමක් සිදු විය.


  • ධාතුසේන රජු ( ක්‍රි. ව. 455 - 473 ) - අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තයේ ස්වර්ණමය යුගය වශයෙන් සටහන්වන ධාතුසේන රාජ්‍ය කාලය තුළ ඉදි වූ ජය ගඟ හෙවත් යෝධ ඇළ අතීත වාරි ඉංජිනේරුවාගේ හැකියාව ලොවට ප්‍රදර්ශණය කළ මහඟු නිර්මාණයකි. එනම් සැතපුම් 54 ක් දිග යෝධ ඇළේ පළමු සැතපුම් 16 තුළ ඇත්තේ සැතපුමකට අඟල් 6 ක් තරම් වූ ඉතා කුඩා බෑවුමකි. මේ නිසා ඉතා විශාල ප්‍රදේශයක් ජලයෙන් පෝෂණය කිරීමේ හැකියාව යෝධ ඇළට හිමි වී ඇත. විශේෂයෙන්ම මෙය ඉදිකිරීමට හේතු වූ අනුරාධපුර නගරයේ ජනගහනය වැඩි වීමේ ගැටළුවට එමගින් විසඳුම් සපයා ගන්නට අපගේ අතීත වාරි ඉංජිනේරුවන්ට හැකිවන්නට ඇත.
යෝධ ඇළ

ක්‍රි. ව. 5-6 ශතවර්ෂය වන විට ඇළවල් මඟින් වැ‍ව් එකිනෙකට සම්බන්ධ කිරීම නිසා මල්වතු ඔයේ ජලය මහවැලි ගංගාව දක්වා ගෙන යන පරිදි සංකීර්ණ ජල ප්‍රවාහයක් බවට සංවර්ධනය වී තිබූ බවට ඓතිහාසික සාක්ෂි පවතී. විශේෂයෙන් මෙකල ඉදි වූ මිනිපේ අමුණ, හත්තොට අමුණ ආදී වූ නිර්මාණ මහවැලි ගඟ ආශ්‍රිතව ඉදි වී තිබේ.

  • 1 වන පරාක්‍රමබාහු රජතුමා ( ක්‍රි. ව. 1153-1186 ) - ශ්‍රී ලංකාවේ වාරි කාර්මික ඉතිහාසයෙහි ස්වර්ණමය යුගය හා අවසන් වැදගත් යුගය වශයෙන් දැක්වෙන පරාක්‍රමබාහු රාජ්‍ය කාලය තුළ ඇළවල් 3910 ක් හා අමුණු 165 ක් ඉදි වූ බවට සාක්ෂි පවතී. එය ලංකාවේ පමණක් නොව ලෝකයේ අන් කිසිඳු පාලකයෙකුට නොදෙවෙනි තරම් වූ වාරි කාර්මික සංවර්ධනයක් බැවි ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත. විශේෂයෙන් ඔහු ඉදිකළ පරාක්‍රම සමුද්‍රය වැනි සුවිශාල වාරි නිර්මාණයන් සඳහා ජලය ලබා ගැනීම සඳහා මහවැලි ගඟ හරස් කොට අංගමැඩිල්ල නම් ස්ථානයේ අමුණක් ඉදි කරමින් අංගමැඩිල්ල ඇළ ඔස්සේද, ගිරිතලේ වැවේ සිට ඇරඹෙන ඇළ මාර්ගයක් ඔස්සේද ජලය සපයා ගත් බැවි දැක්වේ.

මෙසේ විවිධ රාජ්‍ය අනුග්‍රහයන් යටතේ ලංකාවේ ඇළ මාර්ග හා අමුණු සංවර්ධනය සිදු වූ අතර වාරිකර්මාන්තයේ ස්වර්ණමය අවධිය වූ පරාක්‍රමබාහු රජුගේ කාලය වන විට ඇළ මාර්ගයන් ඔස්සේ සියළු වැව් හා ගංගා මකුළු දැලක ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වූ ඉතා සංකීර්ණ ජල ප්‍රවාහන ක්‍රමයක් දක්වා වර්ධනය වී තිබූ බැවි පැහැදිලිය.

පොකුණු[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ වාරිකර්මාන්ත නිර්මාණයන් අතර කලාත්මක ගුණයෙන් ඉතා ඉහළ නිර්මාණයක් වශයෙන් පොකුණු පෙන්වා දිය හැක. විශේෂයෙන් රාජ මාළිගා, පූජ්‍ය ස්ථාන ආදියෙහි පොකුණු නිර්මාණය වී ඇති අතර, රාජ අමාත්‍යාදීන්ගේ මෙන්ම බිසෝවරුන්ගේ පරිභෝජනයටද, සංඝයා වහන්සේලාගේ පරිභෝජනය සඳහා ද මෙම පොකුණු නිර්මාණය කර ඇත. මේ නිසා පොකුණු නිර්මාණයේදී කලාත්මක ලක්ෂණ ඊට ආරෝපණය කර ගන්නට ඇත. අනුරාධපුර යුගයේ මෙන්ම, පොළොන්නරු යුගයේ දැක ගත හැකි රාජ මාළිගා, පිරිවෙන් ආදී වූ සෑම ස්ථානයකම පාහේ පොකුණු නිර්මාණ දැකගත හැක. උදාහරණයක් ලෙස අභයගිරිය, ජේතවනාරාමය ආදියේද, පොළොන්නරුව ආලාහන පිරිවෙන් භූමියේද විශාල පොකුණු ප්‍රමාණයක් දැකගත හැක. කුට්ටම් පොකුණ, ඇත් පොකුණ, පොළොන්නරුවේ නෙළුම් පොකුණ ආදී වූ නිර්මාණ පොකුණු අතර උසස් ගණයේ නිර්මාණ කිහිපයකි.

සීගිරිය ජලෝද්‍යානය[සංස්කරණය]

Sigi 002.jpg

ක්‍රි. ව. පස්වන සියවසේදී අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනය කළ කාශ්‍යප රජු විසින් තම අග නගරය වශයෙන් සීගිරිය නම් වූ හුදකලා පර්වතය තෝරාගෙන එය සියළු නගරාංගයන්ගෙන් යුත් පුරවරයක් බවට සංවර්ධනය කළේය. හෙක්ටයාර 1.5 ක පමණ භූමි භාගයක් පුරා දිය අගල්, පවුරු, පොකුණු, මාළිග, මං පෙත් ආදී වූ සියළු අංගයන්ගෙන් සමන්විත ඉතා දියුණු නාගරික ලක්ෂණයන්ගෙන් යුත් පුරවරයක් වශයෙන් සීගිරිය ගොඩනගා ඇති බැවි දැනට ඉතිරිව ඇති නටඹුන් තුළින් විද්‍යාමාන වෙයි.

මෙහිදී අප විසි න් විමසා බැලෙන වාරි තාක්ෂණයට අදාලව සීගිරි රාජධානියේ ඇති වැදගත්කම නම් ඉතා සංකීර්ණ වූ ජලවහන පද්ධතියක් ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමයි. විශේෂයෙන් අදටද රහසක්ව පවතින සීගිරි පර්වතය මුදුනට ජලය ගෙන යාමේ සිට, දිය අගල්, පොකුණු, දිය මල් ආදී වූ නිර්මාණ රාශියක් සීගිරිය ආශ්‍රිතව දැක ගත හැක. විශේෂයෙන් සීගිරිය ආරක්ෂිත බලකොටුවක් වශයෙන් සංවර්ධනය කළ නිසාවෙන් විශාල වශයෙන් සීගිරිය අවට දිය අගල් වලින් ආවරණය කර තිබේ. ඒ හැරුණු විට උද්‍යාන නිර්මාණයේදී වෙනමම ජලෝද්‍යානයක් සීගිරිය තුළ දැකගත හැක. මේ ප්‍රදේශය තුළ ස්වභාවිකව පිහිටි ගල් හාරා නිර්මාණය කළ පොකුණු මෙන්ම කෘතිමව නිර්මාණය කළ පොකුණුද දැකගත හැක. එය අදටද පවා යෝග්‍ය වූ උසස් නගර සැලසුම් ශිල්පයන් මත ඉදි වී ඇති බැව් නූතන ඉංජිනේරුවන්ගේ මතයයි.

මීට අමතරව සීගිරිය තුළ අදටද වර්ෂා කාලයේදී ක්‍රියාත්මක වන දිය මල් දැක ගත හැක. විශේෂයෙන් පර්වතය මුදුනේ සිට පහලට ගලා එන ජලය පීඩනයට ලක් කරමින් එම ශක්තිය තුළින් ක්‍රියාත්මක වන ආකාරයෙන් මෙම දිය මල් නිර්මාණය කර ඇත. මේ ආදී වූ සෑම නිර්මාණයක් තුළින්ම කියා පාන්නේ අතීත වාරි නිර්මාණ ශිල්පියා සතුව තිබූ හැකියාව කොතරමිද යන්න පිළිබඳවයි.


සමාලෝචනය[සංස්කරණය]

ලොව බොහෝමයක් ශිෂ්ටාචාර ජලය මූලික කර ගනිමින් ආරම්භ වුවත් ඒ බොහෝමයකම පාහේ ඇත්තේ ඉතා සරල හා ප්‍රාථමික මට්ටමේ ජල පරිවහන ක්‍රමවේදයකි. නමුත් ලාංකීය ශිෂ්ටාචාරය තුළ එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී ඉතා දියුණු මට්ටමකට ළඟා වූ තත්වයක් දැක ගත හැක. විශේෂයෙන් එය ලොව කොතැනක හෝ දැකගත නොහැකි වන අන්දමේ සිංහලයනට අනන්‍ය වූ එමෙන්ම ඒ නිසාවෙන්ම ලෝකයාගේ අවධානයට පාත්‍ර වූවකි. අතීත වාරි තාක්ෂණය ඇතැම් විට නූතන අපටද විශ්මය දනවන්නක් වන බැවි ඇතැම් නිර්මාණ අපට පසක් කරයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Bandarage,Asoka;Colonialism in Sri Lanka. 1963.
  2. ඊරියගම, තිස්ස; ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය. ජාතික අධ්‍යාපන පදනම. 1977.
  3. සිරිවර්ධන, ප්‍රසාද් මිලින්ද ; ශ්‍රී ලංකාවේ ආර්ථික විකාශය සංක්ෂිප්ත විමසුම. දීපානි ප්‍රකාශණ, නුගේගොඩ. 2002.
  4. ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 1 කොටස, අනුරාධපුර යුගය. අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුව. 1994.
  5. ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 11 කොටස, පොළොන්නරු යුගය - කෝට්ටේ යුගය. අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුව. 2003.
  6. සිල්වා, රෝලන්ඩි. ගුරුගේ, ආනන්ද ඩබ්. ජී. ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ ස්මාරක සුරැකීමේ වැඩපිළිවෙල. යුනෙස්කෝ ශ්‍රී ලංකා. 1990.
  7. බස්නායක, එච්. ටී; පුරාණ ශ්‍රී ලංකාවේ ජල ශිෂ්ටාචාරය. ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11. 1997.
  8. සෙනෙවිරත්න, අනුරාධ ; පුරාණ සිංහල වාරි සංස්කෘතිය, පියසිරි ප්‍රින්ට්න් සිස්ටම්, නුගේගොඩ. 2001.

සබැඳි පිටු[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]